
රනිල්ගේ ආරක්ෂකයාට කැමරාව වැදුණේ වැරදීමකින්.. ආරක්ෂාවේ කිසිදු බිඳවැටීමක් නෑ..- වටගල
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී, මාධ්‍යවේදීන් සහ ජනතාව අතර ඇතිවූ තෙරපීම මධ්‍යයේ ඔහුගේ ආරක්ෂකයෙකුගේ මුහුණේ කැමරාවක් ගැටෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්‍ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. මේ හේතුවෙන් අධිකරණ පරිශ්‍රයේ ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නාර්‍ථයක් මතුව ඇති බවටත්, මෙය මිනීමැරුම් තැතක් දක්වා වුවද වර්‍ධනය විය හැකිව තිබූ අනාරක්ෂිත තත්ත්වයක් බවටත් මාධ්‍ය නාලිකාවකදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. එම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුනිල් වටගල මහතා පෙන්වා දුන්නේ, සිද්ධිය අර්‍ථකථනය කරන ආකාරයේ බරපතළ ආරක්ෂක ගැටලුවක් එහි නොමැති බවයි. කැමරාවකින් ආරක්ෂකයෙකුට පහර දීමට තරම් තත්ත්වයක් අධිකරණ භූමියේ නොතිබූ බවත්, ඇතිවූ අධික තදබදය හමුවේ කැමරාව වැරදීමකින් ආරක්ෂකයාගේ වැදුණා විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය. මේ පිළිබඳව නිගමනයකට පැමිණිය හැක්කේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව බවද ඔහු කියා සිටියේය. අධිකරණ පරිශ්‍රයන්හි ආරක්ෂාව පිළිබඳව පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යාංශය සහ රජය එක්ව අධිකරණ සංකීර්‍ණවල ආරක්ෂක විධිවිධාන මේ වන විටත් දැඩි කර ඇති බව පැවසීය. අතීතයේදී මෙන් නීතිඥවරුන්ට හෝ කිසිවකුටත් පරීක්ෂාවකින් තොරව අධිකරණ භූමියට ඇතුළු විය නොහැකි බවත්, පැමිණෙන සියලු දෙනාම දැඩි ආරක්ෂක පරීක්ෂාවන්ට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා, වත්මන් රජය යටතේ මැති ඇමැතිවරුන්ට පැවති සාම්ප්‍රදායික පොලිස් ආරක්ෂාව ලබා නොදෙන නමුත්, බුද්ධි අංශ මඟින් සිදු කරන Threat Assessment වාර්‍තා මත පදනම්ව අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකුට ආරක්ෂාව සලසා දීමට බැඳී සිටින බව ප්‍රකාශ කළේය. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතද නිසි ආරක්ෂාවක් සලසා දී ඇති බවත්, කිසිවකුගේ ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් නොමැති අතර යම් ගැටලුවක් මතුවුවහොත් ඊට මැදිහත් වීමට පොලිස් දෙපාර්‍තමේන්තුව සූදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Google AdSense
In-Article Ad

