
යුද්දය අභ්‍යවකාශගත වෙයි.. ඇමරිකාව පෘථිවි කක්‍ෂයේ ප්‍රහාරක අවි ස්ථානගත කරයි..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
අමෙරිකාව සතු ප්‍රහාරාත්මක අභ්‍යවකාශ හැකියාවන් පිළිබඳව මෙවැනි නිල ප්‍රකාශයක් සිදු කළ පළමු අවස්ථාව මෙය වේ. සඳුදා පැවති ‘Air, Space and Cyber Conference’ සමුළුව අමතමින් එක්සත් ජනපද ගුවන් හමුදා ලේකම් ට්‍රෝයි මයින්ක් ප්‍රකාශ කළේ, සතුරු පාර්‍ශ්වයන්ගෙන් එල්ල විය හැකි තර්‍ජන හමුවේ අමෙරිකානු හමුදාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම කක්ෂගත අවිය ස්ථානගත කිරීම අත්‍යවශ්‍ය පියවරක් වූ බවයි. වර්‍ධනය වන නව ගෝලීය ආරක්ෂක තර්‍ජනවලට මුහුණදීමට අමෙරිකාව සූදානම් බව ඔහු සඳහන් කළද, අදාළ අවියේ නිශ්චිත තාක්ෂණික හැකියාවන් හෝ එය කක්ෂගත කළ දිනය පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිදරව් නොකළේය. අනාගත යුදමය ගැටුමකදී අමෙරිකානු චන්ද්‍රිකා අක්‍රිය කිරීමට සහ ඒවාට පහරදීමට හැකි අභ්‍යවකාශ අවි රුසියාව සහ චීනය විසින් සංවර්‍ධනය කරමින් සිටින බවට අමෙරිකානු ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීහු මීට පෙරද අනතුරු අඟවා තිබිණි. එසේම, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ සැලසුම් කර ඇති “ගෝල්ඩන් ඩෝම්” (Golden Dome) මිසයිල ආරක්ෂණ පද්ධතියේ ප්‍රධාන අංගයක් ලෙසද මෙවැනි කක්ෂගත අභ්‍යවකාශ අවි සහ ප්‍රති-මිසයිල පද්ධති භාවිත කිරීමට සැලසුම් කර තිබේ. 1967 අභ්‍යවකාශ ගිවිසුම (Outer Space Treaty) මගින් පෘථිවි කක්ෂය තුළ සමූලඝාතක අවි ස්ථානගත කිරීම තහනම් කර ඇතත්, යුද සන්නිවේදනය, ඔත්තු බැලීම සහ නාවික ගමනාගමනයට අත්‍යවශ්‍ය වන සතුරු චන්ද්‍රිකා ඉලක්ක කරගත හැකි වෙනත් යුද ශිල්පීය හැකියාවන් කෙරෙහි අමෙරිකාව, රුසියාව සහ චීනය වැනි ප්‍රබල රටවල් දැඩි අවධානයක් යොමු කර ඇත. පසුගිය වසරේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද විධායක නියෝගයක් මගින්ද පෙන්වා දී තිබුණේ, අමෙරිකානු අභ්‍යවකාශ බළකායේ කාර්‍යභාරය හුදු වත්කම් ආරක්ෂා කිරීමකට පමණක් සීමා නොවී, ප්‍රහාරාත්මක බළකායක් ලෙසද ක්‍රියාත්මක විය යුතු බවයි. මේ පිළිබඳව අදහස් දක්වමින් අමෙරිකානු අභ්‍යවකාශ බළකායේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අභ්‍යවකාශ කලාපය පාලනය කිරීම සහ සතුරු පාර්‍ශ්වයන්ගේ තාක්ෂණික හැකියාවන් අඩපණ කිරීම හෝ විනාශ කිරීම වෙනුවෙන් ආරක්ෂක මෙන්ම ප්‍රහාරාත්මක ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට සිය අංශයට උපදෙස් ලැබී ඇති බවයි. යුක්‍රේන ආක්‍රමණයෙන් අනතුරුව යුරෝපා චන්ද්‍රිකා කිහිපයක සන්නිවේදන තොරතුරු රුසියානු චන්ද්‍රිකා මගින් උදුරා ගෙන ඇති බවට මෑතකදී අනාවරණය වූ අතර, චීනය සහ රුසියාව අභ්‍යවකාශය ප්‍රධාන යුද පිටියක් ලෙස සලකා යුද ශක්තිය වේගයෙන් වර්‍ධනය කිරීම හමුවේ අමෙරිකාව මෙම නවතම ක්‍රියාමාර්‍ගය ගෙන ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Google AdSense
In-Article Ad

