FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ලංකාවේ ධනවතුන් තව ධනවත් වෙයි.. දුප්පතුන් තව දුප්පත් වෙයි..- IPS

FM Heart · 2 min read

The Heart Academy
ආසන්න කාලය තුළ මෙරට සාමාන්‍ය පවුල්වල මුදල්මය ආදායම සංඛ්‍යාත්මකව ඉහළ ගොස් තිබුණ ද, භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ සැබෑ හැකියාව සැලකිය යුතු ලෙස පහත වැටීම හේතුවෙන් ජනතාව දැඩි ආර්‍ථික පීඩනයකට ලක්ව ඇති බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) පෙන්වා දෙයි. මේ හේතුවෙන් දිළිඳු ජනතාව තවදුරටත් ආර්‍ථික අගාධයට ඇද වැටෙද්දී ධනවතුන්ගේ ආදායම් තවදුරටත් ඉහළ ගොස් සමාජ විෂමතාව උග්‍ර වී ඇති බව එම ආයතනය අනාවරණය කරයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්‍තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ 2025 ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණයේ මූලික දත්ත විශ්ලේෂණය කරමින්, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පර්‍යේෂකයෙකු වන ආචාර්‍ය පුලස්ති අමරසිංහ මහතා මෙම කරුණු පෙන්වා දී තිබේ. එම වාර්‍තාවට අනුව, 2016 වසරේදී රුපියල් 62,237ක් වූ මෙරට සාමාන්‍ය මාසික ගෘහස්ථ ආදායම 2025 මුල් භාගය වන විට රුපියල් 120,266ක් දක්වා සියයට 93ක නාමික වර්‍ධනයක් පෙන්නුම් කරයි. එහෙත් පසුගිය වසර කිහිපය තුළ පැවති දැඩි උද්ධමනය හමුවේ මුදලේ සැබෑ අගය සැසඳීමේදී ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ ගොස් නොමැත. උද්ධමනයට ගැලපූ විට, 2016 වසරේදී රුපියල් 43,511ක් ලෙස පැවති සැබෑ මධ්‍යස්ථ මාසික ගෘහ ආදායම, 2025 වන විට රුපියල් 41,623ක් දක්වා සියයට 4.3කින් පහත වැටී ඇත. 2016 සහ 2019 අතර කාලසීමාවේදී සැබෑ මධ්‍යස්ථ ආදායම සියයට 7.6කින් වර්‍ධනය වෙමින් සුබවාදී ප්‍රවණතාවක් පෙන්නුම් කළ ද, 2019 මට්ටමට සාපේක්ෂව 2025 මුල් භාගය වන විට එම ආදායම සියයට 11.1කින් අහිමි වී ගොස් තිබීම විශේෂත්වයකි. ආර්‍ථික අර්‍බුදයේ බලපෑම සමාජයේ සියලු ස්ථරයන්ට එක හා සමානව බලපා නොමැති බව පෙන්වා දෙන ආචාර්‍ය අමරසිංහ මහතා, දිළිඳු ජනතාවගේ සැබෑ ආදායම් ශීඝ්‍රයෙන් කඩා වැටෙද්දී ඉහළම ධනවත් සියයට 20ක ස්ථරයේ ආදායම් වර්‍ධනය පහළ ස්ථරවලට සාපේක්ෂව 11 ගුණයක සිට 15 ගුණයක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් කරයි. මේ හේතුවෙන් ජාතික මට්ටමේ සාමාන්‍ය දර්‍ශක මඟින් රටේ පවතින සැබෑ බිම් මට්ටමේ ආර්‍ථික පීඩනය වසං වන බව ද ඔහු පෙන්වා දෙයි. මෙම අසමතුලිත ආර්‍ථික පසුබිම මත, 2025 වන විට මෙරට දිළිඳුතා අනුපාතය යළිත් සියයට 16ක ඉහළ අගයක් ගනු ඇතැයි ගණන් බලා තිබේ. සාර්‍ව ආර්‍ථිකය යථා තත්ත්වයට පත්වීම සහ රටේ ගෘහස්ථ ආදායම සාමාන්‍ය අතට හැරීම යනු එකක් නොව දෙකක් බව මෙයින් පැහැදිලි වන බවත්, ආර්‍ථිකය ස්ථාවර වුව ද සාමාන්‍ය පවුල්වල ආදායම් තවමත් යථා තත්ත්වයට පත්ව නොමැති බවත් එම වාර්‍තාව අවධාරණය කරයි.
99mobile