
ඩොලර් බිලියන 4.8ක ආයෝජන ව්‍යාපෘති රැසක් රට හැර ගිහින්!
FM Heart · 2 min read
වත්මන් රජය සතුව පවතින රාජ්‍ය පාලන අත්දැකීම්වල සහ දේශපාලන දැක්මේ දැඩි ඌනතාවය හේතුවෙන්, හම්බන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ ඩොලර් බිලියන 4.8 ක දැවැන්ත චීන තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ඇතුළු ප්රමුඛ පෙළේ විදේශ ආයෝජන රැසක් මෙරට අතහැර ගොස් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කලේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිතව තිබූ ‘චයිනා ලොජිස්ටික්ස්’ සමාගම මෙන්ම මන්නාරමේ සිට යාපනය දක්වා ක්‍රියාත්මක කිරීමට ගිය ඉන්දීය අදානි සමාගමේ හරිත බලශක්ති ව්‍යාපෘතිය ද මෙරටින් අත්හැර දමා ගොස් ඇති බවයි. ඊට අමතරව හම්බන්තොට ප්‍රදේශයේ ආරම්භ කිරීමට සූදානම් වූ ඩොලර් බිලියන 4.8 ක චීන පිරිපහදු ආයෝජනය සහ සාම්ප්‍රදායික මත්ස්‍ය කර්මාන්තයට අදාළ ව්‍යාපෘති ද ආපසු හැරී ගිය ආයෝජන අතර වන බව ඔහු සඳහන් කළේය. රජයේ අයවැය කළමනාකරණය දැඩි විවේචනයට ලක්කළ රාඝවන් මහතා, පසුගිය වසරේ අයවැයෙන් වෙන් කරගත් මුදල් පවා නිසි ලෙස භාවිතයට ගැනීමට අසමත් වූ පාලකයන්ට නව අයවැය ප්‍රායෝගිකව සාර්ථක කරගත නොහැකි බව පැවසීය. නරක් වූ උල්පතකින් ගලා එන ජලය කිසිදා අලුත් හෝ පිරිසිදු නොවන බවට උපමාවක් ගෙනහැර දැක්වූ ඒ මහතා, ආණ්ඩුකරණය පිළිබඳ අබමල් රේණුවක තරම්වත් අවබෝධයක් නොමැති පාලකයන් ලේඛනගතව අයවැය කොතෙක් අලංකාර ලෙස ඉදිරිපත් කළ ද එය ක්‍රියාත්මක කිරීමට තරම් බුද්ධියක් හෝ හැකියාවක් ඔවුන් සතුව නොමැති බවට චෝදනා කළේය.

