
පළාත් 4 කට ගාල්ල මාතරට මි.මී. 100 කට අධික තද වැසි දිස්ත්‍රික්ක 9 කට නායයෑම් අනතුරු ඇගවීම්
FM Heart · 2 min read
අන්තර් මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු අනතුරු අවම කරගැනීමට කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. බදුල්ල, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 09 සඳහා විමසිලිමත් සහ අවදානම් මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් සිදුකර ඇත. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ අරාබි මුහුද ප්‍රදේශයේ ඇතිව තිබෙන කැලඹිලි ස්වභාවය අඩුපීඩන අවපාතයක් දක්වාත් ඉන් අනතුරුව පීඩන අවපාතයක් දක්වාත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පැවසීය. එහි බලපෑමෙන් ලබන 15, 16, 17 යන දිනවල උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි යැයි ද ඔහු කීය. කෙසේ වෙතත් මෙහි නිවරදි අනාවැකි අධ්‍යයනය කර ඉදිරියේදී අවශ්‍ය වුවහොත් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා කීය. ඊයේ (10දා) පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24ක කාලය තුළ බෝගොඩ තේ කර්මාන්ත ශාලාව ප්‍රදේශයට මිලිමීටර් 162.5 ක්, පල්ලේගම මිලිමීටර් 153.7ක්, උඩුගම මිලිමීටර් 153.7 ක් වැඩි වශයෙන් වර්ෂාපතනය ලැබී ඇත. ගිං, කළු, නිල්වලා ගංගා සහ අත්තනගලූ ඔය, ජල පෝෂක ප්‍රදේශවලට සැලකියයුතු වර්ෂාපතනයක් ලැබීම නිසා එම ගංගාවල ජල මට්ටම ඉහළ යෑම නිසා ඊට ආසන්න පහත් බිම් සහ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබූ බවට වාර්තා විය. චමින්ද සිල්වා

