FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මහජන අපේක්ෂා සහ 2027 අයවැයේ යථාර්‍ථය

FM Heart · 12 min read

The Heart Academy
ලබන වර්‍ෂය (2027) සඳහා වන රජයේ අයවැය ලේඛනය (ආණ්ඩුවේ තෙවැනි අයවැය) ඉකුත් නොවැම්බර් 12 වැනිදා දහවල් 1.30 ට පමණ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැය කතාව පැය පහකටත් වඩා කාලයක් කියවූ අතර මේ අයවැය තුළ සාධනීය යෝජනා තිබුණත්, උග්‍ර ආර්‍ථික පීඩනයක සිටි මහජනයාගේ අපේක්ෂා සහ අයවැයෙන් ලැබුණු සහන අතර විශාල පරතරයක් ඇති බව නම් කිව යුතුය. ජනාධිපතිවරයා සහ ඇමැති නලින්ද ජයතිස්ස ඇතුළු රජයේ පාර්‍ශ්වයේ ප්‍රකාශ අනුව මේ අයවැයෙන් බදු අඩු කිරීම් ප්‍රමාණයක් ලබාදෙන බව අයවැයට පෙරම ප්‍රකාශ විය. මේ අනුව විශේෂයෙන්ම වැට් බද්ද ඇතුළු පොදුවේ සාමාන්‍ය ජනයා මුහුණ දෙන අධික බදු බර සමනය කිරීමට දැනෙන සහනයක් ලැබෙනු ඇති බවට බොහෝ දෙනෙක්ගේ අපේක්ෂාවක් තිබිණි. එසේම අනිත් අතට උපයන විට ගෙවීමේ බදු බර ගැන ද කලක සිටම වෘත්තිකයන්ගෙන් මැසිවිල්ලක් තිබිණි. එහි කිසියම් වෙනසක් මෙවර අයවැයෙන් සිදුව ඇතත් එමගින් එතරම් ප්‍රමාණවත් සහනයක් ද ලැබී නැත. මෙතක් අයකරමින් තිබූ සංචාරක සංවර්‍ධන බද්ද අහෝසි කර, ඒ වෙනුවට එම මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන බව ද ජනාධිපතිවරයා අයවැය කතාවේ දී කියා සිටියේය. එවිට ඒ බරත් පැටවෙන්නේ සාමාන්‍ය මහජනයා මත ද? මෙවැනි නැති ප්‍රශ්න ද අලුතින් මතුව ඇත. රාජ්‍ය සේවයේ තෝරාගත් අංශවල දීමනා වැඩිකර ඇතත් තවත් රාජ්‍ය සේවයේ අංශ අමතක කර ඇති බවට රාජ්‍ය සේවයේ වෙනත් අංශවලින් මැසිවිලි නැඟෙමින් ද තිබේ. මෙවර අයවැයේ සඳහන් විවිධ යෝජනා ගැන මේ වන විට විවිධ පාර්‍ශ්වයන්, විවිධ අදහස් පළ කරමින් සිටී. මේ පසුබිම තුළ විශේෂයෙන් මෙවර අයවැයේ බදු වෙනස්කම් ගැන මේ ලිපියෙන් අපගේ අවධානය යොමු කෙරේ. බදු ගැන කතා කිරීමේ දී අයවැයට පෙර, 2027 අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩුකරන බවට ජනාධිපතිවරයා කියා සිටියත් එහිදී භාවිතා කළ විශේෂණයක් වූයේ, බදු ආදායම් ඉලක්කවලට හානියක් නොවන ලෙස එය සිදුකරන බවයි. එසේම වාහන ආනයන ක්‍රමයෙන් අඩුවෙමින් පැවතීම නිසා ගිය වසරේ (2025) ලැබුණු විශාල බදු ආදායම ද එලෙසින්ම මේ වසරේ නොලැබෙනු ඇත. සංචාරක සංවර්‍ධනයට සහ ප්‍රවර්‍ධනයට ද මහජන බදු මුදල් ලබා දීමට සිදුවීම නිසා එමගින් රජයට තවත් වැය බරක් ද එකතු වනු ඇත. එසේම වක්‍ර බදු සහ සෘජු බදු අතර පරතරය ද එතරම් පුළුල් නොවන්නේ නම් මේ ලබා දෙනවා කියූ බදු සහනය සම්බන්ධයෙන් සඳහන් කළ හැකි වන්නේ අපේක්ෂා කළ මට්ටමේ සහනයක් පොදු ජනයාට ලැබී නැති බවයි.ි‘වසරක මහජන බලාපොරොත්තු සහ අයවැය’ මැයෙන් ඉකුත් නොවැම්බර් 11 වැනිදා (අයවැයට පෙර දින) විකාශය වූ දෙරණ රූපවාහිනියේ ‘අලුත් පාර්‍ලිමේන්තුව’ වැඩසටහනට ද එක් වීමට මේ ලියුම්කරුට ද අවස්ථාව ලැබිණි. එහිදී මේ මොහොතේ මහජනයා මුහුණ දී සිටින උග්‍ර ආර්‍ථික පීඩනය සමනය කිරීමේ අවශ්‍යතාව අප සඳහන් කර සිටියේය. එහෙත් ඒ අනුව පැවති මහජන අපේක්ෂා ඉටු කිරීමට රජයට හැකිව නැත. කෙසේ හෝ කිසිවක් නොවනවාට වඩා යමක් සිදු වූ එක හොඳය. ඒ අනුව මෙවර අයවැයෙන් සිදුව ඇති බදු වෙනස්කම් ගැන අපි සාකච්ඡා කරමු. පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව ඉහළට පුද්ගල ආදායම් බදු සහනය තවත් ඉතා සුළු අගයකින් ඉහළ නැංවීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත. ඒ අනුව මසකට රු.150000 ක් වූ බදු නිදහස් ආදායම් සීමාව රු.162500 ක් දක්වා තවදුරටත් ඉහළ නැංවීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත. මේ අනුව රු.162500 ක් දක්වා වන මාසික වැටුප් හා දීමනා ලබන අයෙක් තම වැටුපට බදු ගෙවිය යුතු නොවේ. මේ අනුව වාර්‍ෂික පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව රු. මිලියන 1.8 සිට රු. මිලියන 1.95 ක් දක්වා ඉහළ යනු ඇත. සියයට 6 ක බදු අනුපාතය අදාළ වන බදු ස්ථරය මසකට රු. 70833 ක් වන අතර, ඉන් අනතුරුව බදු ස්ථර මසකට රු. 41667 සිට මසකට රු. 50,000 දක්වා පුළුල් වේ. සියයට 6 ක අනුපාතයට පසු සියයට 18 වෙනුවට සියයට 12 ක අනුපාතය අදාළ කරමින් 6%, 12%, 18%, 24%, 30% හා 36% ලෙස බදු අනුපාත සකස් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත. උපරිම පුද්ගල ආදායම් බදු අනුපාතය අදාළ වන මාසික ආදායම් සීමාව රු. 358,000 සිට රු.433,000 දක්වා ඉහළ නැංවෙන අතර, එක් එක් පුද්ගල ආදායම් බදු ගෙවන්නෙකුට මාසිකව අවම වශයෙන් රු.750 ක සිට උපරිම වශයෙන් රු. 15,750 ක් දක්වා අතිරේක බදු සහනයක් මේ අනුව හිමි වනු ඇත. මේ අනුව, 2025 වසරේ දී හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණ සහ 2027 වසර සඳහා යෝජිත සංශෝධනවල ඒකාබද්ධ ප්‍රතිඵලයක් ලෙස, අප රජය විසින් එක් එක් පුද්ගල ආදායම් බදු ගෙවන්නෙකුට ලබා දෙන සමස්ත මාසික බදු සහනය අවම වශයෙන් රු.4250 ක සිට උපරිම වශයෙන් රු.36250 ක් දක්වා ඉහළ නැංවෙන බව අයවැයේ කතාවේ සඳහන් වේ. මේ අනුව පුද්ගලයන්ගේ ආදායම් බදු අනුපාත ව්‍යුහය පහත පරිදි වෙනස් වී ඇත. (වගුව) බලන්න පොත් සහ මුද්‍රිත ද්‍රව්‍යවලට දුන් බදු නිදහස මුද්‍රිත පොත් සහ අනෙකුත් මුද්‍රිත ද්‍රව්‍ය 2024 ජනවාරි මාසයේ සිට එකතු කළ අගය මත බද්දට යටත් වූ අතර, අභ්‍යාස පොත් ඊටත් පෙර සිටම එම බද්දට යටත්ව පැවතුණි. අධ්‍යාපනයේ වැදගත්කම මෙන්ම අත්‍යවශ්‍ය අධ්‍යාපන ද්‍රව්‍ය දැරිය හැකි මිලකට ලබා දීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින්, අධ්‍යාපනය, දැනුම හා කියවීම සඳහා ප්‍රවේශය ප්‍රවර්‍ධනය කිරීමේ අරමුණින්, පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමා චිත්‍ර හා රූප ඇඳීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ අනෙකුත් මුද්‍රිත පොත්පත් මෙන්ම අභ්‍යාස පොත් ද එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීමට අයවැයෙන් යෝජනා කර ඇත. දරුවන්ගේ අධ්‍යාපනයට අවැසි පොත පත බද්දෙන් නිදහස් කරන ලෙස කලෙක සිටම රජයට ඉල්ලීමක් ඉදිරිපත්ව පැවති අතර ඒ අනුව ලබා දුන් මේ බදු සහනය ඉතා අගය කළ හැකිය. සංචාරක සංවර්‍ධන බද්ද අහෝසි කිරීම සංචාරක සංවර්‍ධන බද්ද අහෝසි කිරීම ගැන සංචාරක කර්‍මාන්තයේ බොහෝ දෙනෙක්ගේ අසතුට මේ වන විටත් පළ වී ඇත. එම අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙසේ කීවේය. ‘සංචාරක කර්‍මාන්තය මත පවතින බදු බර අඩු කිරීම, එහි තරගකාරීත්වය ඉහළ නැංවීම සහ සංචාරක සංවර්‍ධනය සඳහා තිරසර මූල්‍ය පහසුකම් සහතික කිරීමේ අරමුණින්, සංචාරක ආයතනවල පිරිවැටුම මත දැනට අය කරනු ලබන සංචාරක සංවර්‍ධන බද්ද අහෝසි කිරීමට යෝජනා කරනවා. සංචාරක ප්‍රවර්‍ධනය සහ සංවර්‍ධනය සඳහා අඛණ්ඩව අරමුදල් සැපයීම සහතික කිරීම පිණිස සුදුසු මූල්‍යන ක්‍රමයක් සකස් කිරීමට ඉදිරියේ දී කටයුතු කරනවා. ඒ වන තෙක් අවශ්‍ය අරමුදල් ශ්‍රී ලංකා සංචාරක සංවර්‍ධන මණ්ඩලය විසින් කරන ඉල්ලීම් මත භාණ්ඩාගාරය විසින් සපයනු ලබනවා.. මෙතෙක් පැවති මේ සංචාරක සංවර්‍ධන බද්ද අහෝසි කිරීමෙන් පසු මේ කර්‍මාන්තයේ සංවර්‍ධනයට හා ප්‍රවර්‍ධනය සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් ගැනීම කෙතරම් ඵලදායි ලෙස සිදුවේද යන්න ප්‍රශ්න සහගතය. ආණ්ඩුවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය තුළ ඒ සඳහා කවර ප්‍රමුඛත්වයක් හිමි වේද යන්න ගැන ද සහතිකයක් නැත. මේ අනුව රජයේ අරමුණ කවරක් නමුත් ප්‍රායෝගිකව මේ යෝජනාව නිසා සංචාරක සංවර්‍ධනයට හා ප්‍රවර්‍ධනයට සීමා වීමට හේතු වනු ඇති බවට ද සංචාරක කර්‍මාන්තකරුවන්ගේ සැකයට හේතු වී ඇත. අනිත් අතට සංචාරක ආදායම් මගින්ම ආදායම් උපයා ගන්නවා වෙනුවට භාණ්ඩාගාරයෙන් සංචාරක ආයතන වෙත මුදල් ලබා දීමේ දී එහි බර දැරීමට සිදු වනුයේ ද බදුගෙවන ජනයාටය. සංචාරක සංවර්‍ධන බද්ද අහෝසි කිරීමෙන් අහිමි වන බදු ආදායම උපයා ගැනීමේ විකල්ප ක්‍රමවේදය කුමක් ද? සංචාරක ප්‍රවර්‍ධනය සහ සංවර්‍ධනය සඳහා අඛණ්ඩව අරමුදල් සැපයීම සහතික කිරීම සඳහා සුදුසු මූල්‍යන ක්‍රමයක් සකස් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව කීවත් එතෙක් ඒ සඳහා මුදල් සැපයීමට මුදල් අමාත්‍යාංශයට සිදුවනු ඇත. සංචාරක කර්‍මාන්තයේ පාර්‍ශ්වකරුවන්ගෙන් විමසුම් කළ විට ඔවුන් කියා සිටියේ රජයත් සමග සිදු කළ පසුගිය සාකච්ඡාවල දී සංචාරක සංවර්‍ධන බද්ද අහෝසි කිරීමක් ගැන කිසිසේත්ම සාකච්ඡා නොවූ බවයි. අප නම් සිතන්නේ මෙවැනි තීරණයක් ගැනීමේ දී එය සංචාරක කර්‍මාන්තයේ පාර්‍ශ්වයන්ගෙන් විමසා ඔවුන්ගේ ද අදහස් ද ලබාගෙන සිදු කිරීම ඉතාමත් වැදගත් දෙයක් බවයි. ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී සංචාරක කර්‍මාන්තයේ පාර්‍ශ්වකරුවන් පොදුවේ ඔවුන්ගේ අදහස ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් සිටින බව ද අපට දැන ගැනීමට ඇත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බදු සහන පොදුවේ බදු මිල සඳහා සහන අපේක්ෂා කළත් ඒ වෙනුවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තුනක් සඳහා පමණක් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට අයවැයෙන් යෝජනා කර ඇත. ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගික ජනතාවට ඇතිවන ජීවන වියදම් පීඩනය අවම කිරීමේ අරමුණින්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද, ආනයනික හාල්මැස්සන් සඳහා කිලෝග්‍රෑමයකට රු. 100 සිට රු. 10 දක්වා ද, උම්බලකඩ සඳහා කිලෝග්‍රෑමයකට රු. 302 සිට රු.10 දක්වා ද, කුඩු කළ සහ කුඩු නොකළ වියළි මිරිස් සඳහා කිලෝග්‍රෑමයකට රු. 50 කින් ද අඩු කිරීමට යෝජනා කර ඇත. මෙම බදු සංශෝධන 2026 නොවැම්බර් මස 13 වැනි දින සිට ක්‍රියාත්මක විය. මෙසේ යම් බදු අඩු කිරීමක් සිදුව ඇතත් පොදුවේ මහජනයාගේ ජීවන වියදම සැහැල්ලු කිරීමට මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. ආනයන තීරුබදු අදියරෙන් අදියර අඩු කිරීම ආනයන බදු ව්‍යුහය සරල කිරීම, වෙළෙඳාමට අදාළ පිරිවැය අඩු කිරීම සහ ආර්‍ථිකයේ තරගකාරීත්වය ඉහළ නැංවීමේ අරමුණින්, ආනයන තීරුබදු අදියරෙන් අදියර අඩු කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, තෝරාගත් සංයෝජිත වර්‍ගීකරණ සංකේතාංක (එච්එස්) පේළි 800 කට අදාළ දැනට පවතින සෙස් බදු අනුපාත සියයට 25 කින් අඩු කිරීමට යෝජනා කර ඇත. නිශ්චිත එච්එස් කේත යටතේ වර්‍ගීකරණය කර ඇති පුවත්පත් මුද්‍රණ කඩදාසි ආනයනය සඳහා දැනට අයකරන සියයට 10 ක වරාය හා ගුවන් තොටුපළ සංවර්‍ධන බද්ද (පැල්), 2027 ජනවාරි පළමුවන දින සිට ඉවත් කිරීමට ද යෝජනා කර ඇත. මෙය දුර්‍වල වී ඇති පුවත්පත් කර්‍මාන්තයට ශක්තියක් බැවින් එය ඉතා අගය කළ යුතුය. එසේම මෙම සහනය මගින් විශේෂයෙන්ම වෙළෙඳාමට අදාළ පිරිවැය අඩු කිරීම සහ ආර්‍ථිකයේ තරගකාරීත්වය ඉහළ නැංවීමට අදහස් කරන බව අයවැය යෝජනාවේ දැක්වේ. මේ අනුව මෙම සහන හරහා අපගේ කර්‍මාන්ත හා වෙළෙඳ හා අපනයන අංශවලට තම පිරිවැය අඩු කර ගැනීමට හැකි වනු ඇත. ආනයනික සීනි බද්ද ඉහළට දේශීය සීනි කර්‍මාන්තයට වෙළෙඳපොළේ තරග කිරීමට සහාය දීම මැයෙන් වන මේ අයවැය යෝජනාව යටතේ මෙසේ සඳහන් වේ. ‘දේශීය සීනි කර්‍මාන්තය ආරක්ෂාව වෙනුවෙන් දේශීයව නිෂ්පාදනය කරන සීනි සහ ආනයනික සීනි අතර පවතින බදු විෂමතාව අවම කරමින්, දෙපාර්‍ශ්වයටම සමාන තරගකාරී අවස්ථා සහ සාධාරණ තරගකාරී පරිසරයක් ඇති කිරීමට සහ වඩාත් මධ්‍යස්ථ හා සමාන බදු සැලකීමක් සහතික කිරීම සඳහා ආනයනික සීනි මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු. 10 කින් වැඩි කිරීමට ද යෝජනා කරනවා.. අයවැය සාරාංශය 2027 මුදල් වර්‍ෂය සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ඇස්තමේන්තු සාරාංශයට අනුව, රජයේ මුළු ආදායම සහ ප්‍රදාන රුපියල් බිලියන 6180 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එයින් මුළු ආදායම රුපියල් බිලියන 6150 ක් වන අතර, ඊට බදු ආදායම ලෙස රුපියල් බිලියන 5687 ක් සහ බදු නොවන ආදායම ලෙස රුපියල් බිලියන 463 ක් ඇතුළත් වේ. ප්‍රදාන රු.බිලියන 30කි. බදු ආදායම් ව්‍යූහය දෙස බැලීමේ දී ආදායම් බදු මගින් රුපියල් බිලියන 1341 ක්ද, භාණ්ඩ හා සේවා මත බදු මගින් රුපියල් බිලියන 3592 ක් සහ විදේශ වෙළෙඳාම මත බදු මගින් රුපියල් බිලියන 754 ක්ද 2027 දී උපයා ගැනීමට සැලසුම් කර ඇත. 2026 වසරේ සංශෝධිත ඇස්තමේන්තු අනුව භාණ්ඩ හා සේවා මත බදු මගින් එකතු කර ගන්නා ආදායම රුපියල් බිලියන 3454 ක් වන අතර ඒ අනුව ලබන වසරේ (2027) දී එම බදු ආදායම රු. බිලියන 138 කින් වැඩි වී ඇත. එසේම 2026 වසරේ සංශෝධිත ඇස්තමේන්තු අනුව විදේශ වෙළෙඳාම මත බදු මගින් එකතු කර ගන්නා ආදායම රුපියල් බිලියන 713 ක් වන අතර ඒ අනුව ලබන වසරේ (2027) දී එම බදු මගින් එකතු කර ගැනීමට සැලසුම් කර ඇති ආදායම රු.41 කි. මෙසේ වක්‍ර බදු ආදායම වැඩිවෙන අතරේ ලබන වසරේ (2027) ආදායම් බදු ආදායම වැඩි කර ගැනීමට සැලසුම් කර ඇත්තේ රු. බිලියන 30 කින් පමණි. මේ අනුව පොදු ජනයා භාණ්ඩ හා සේවා මත දරන අධික වක්‍ර බදු බර අඩු කිරීමට හෝ බදු ගෙවීමේ හැකියාව සහ ශක්තිය ඇති අයගෙන් වැඩි ආදායමක් උපයා ගැනීමට හෝ ආණ්ඩුව මෙම අයවැය යෝජනා මගින් සමත්ව නැති බව කිව හැකිය. දැන් 2027 වසරට ඇස්තමේන්තුගත රාජ්‍ය වියදම් ගැන සලකා බලන්නේ නම් රු. බිලියන 260 ක දිට්වා හානි ප්‍රතිසංස්කරණය සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව ද ඇතුළත්ව රජයේ මුළු වියදම රුපියල් බිලියන 7933 ක් දක්වා වැඩි වී ඇත. එම පරිපූරක ඇස්තමේන්තුව නොමැතිව රු. බිලියන 7673 කි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20.3 ක මට්ටමකි. මින් වර්‍තන වියදම් සඳහා රුපියල් බිලියන 5944 ක් වෙන් කර ඇති අතර, ඊට රාජ්‍ය සේවක වැටුප් හා වේතන සඳහා රුපියල් බිලියන 1410 ක්, පොළී ගෙවීම් සඳහා රුපියල් බිලියන 2643 ක් සහ සහනාධාර හා පැවරුම් සඳහා රුපියල් බිලියන 1482 ක් ඇතුළත් වේ. එමෙන්ම රු බිලියන 260 ක පරිපූරක ඇස්තමේන්තුව සමග රාජ්‍ය ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 2000 (ද.දේ.නි. යෙන් සියයට 5.1) දක්වා වර්‍ධනය වී ඇත. එහෙත් ඉලක්කම් මෙසේ වුවත් මේ වෙන් කළ රාජ්‍ය ආයෝජන ප්‍රමාණයෙන් කොපමණ ප්‍රතිශතයක් ඇත්ත වශයෙන්ම වැය කෙරෙනු ඇති ද යන්න බැලිය හැකි වනුයේ ලබන වසර අගදීය. මේ සඳහන් කළ ඇස්තමේන්තුගත ආදායම් සහ වියදම් තත්ත්වයන් (පරිපූරක ඇස්තමේන්තුව සහිතව) අනුව ලබන වසරේ ජනිත වනු ඇතැයි අපේක්ෂිත සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 1753 ක් (ද.දේ.නි.යෙන් සියයට 4.5) දක්වා ඉහළ ගොස් ඇත. එසේම අයවැයේ ප්‍රාථමික අතිරික්තය රුපියල් බිලියන 890 ක් (ද.දේ.නි. යෙන් සියයට 2.3) ලෙස සහ ආදායම් අතිරික්තය රුපියල් බිලියන 206 ක් (ද.දේ.නි. යෙන් සියයට 0.5) ලෙසත් ඇස්තමේන්තු කර ඇත. මෙම සමස්ත අයවැය හිඟය පියවා ගැනීමට සැලසුම් කර ඇත්තේ මුළු දේශීය මූල්‍යයනය ලෙස රුපියල් බිලියන 1643 කින් සහ ශුද්ධ විදේශ මූල්‍යයනය ලෙස රුපියල් බිලියන 110 කින් වශයෙනි. 2022 වසරේ මුහුණ දුන් දරුණුතම ආර්‍ථික අර්‍බුදයෙන් පසු අයිඑම්එෆ් සහාය ඇතිව මේ වන විට යම් මට්ටමකට ආර්‍ථිකය ස්ථායි කරගෙන තිබුණත් ආර්‍ථිකය කම්පන තත්ත්වයන් හමුවේ තවදුරටත් අවදානම් සහ අභියෝගාත්මක තත්ත්වයට ද පත්ව ඇත. දැනට ඇති අයිඑම්එෆ් වැඩසටහන ද 2027 මාර්‍තු මාසයෙන් අවසන් වේ. මෙලෙස ගෝලීය අවිනිශ්චිතතා මධ්‍යයේ අප සිටින්නේ තීරණාත්මක මොහොතකය. එසේ නම් රජයේ සැලසුම් කළ ආර්‍ථික වැඩපිළිවෙළ හරහා සිදු විය යුතු ප්‍රධානතම දේ වන්නේ ආර්‍ථික ස්ථාවරත්වය පවත්වා ගනිමින්, ජනතාවට ජීවන වියදම සහ ආර්‍ථික පීඩනය සමනය කර ගැනීම සඳහා සහන සලසන අතරම පරිවර්‍තනීය ආර්‍ථික වර්‍ධනයක් කරා රට යොමු කිරීමයි. මේ දෙය සිදු කිරීමට සමත් අයවැයක් ජනාධිපතිවරයා මෙවර ඉදිරිපත් කිරීමට සමත්ව තිබේ ද? ඉදිරිපත් වූ අයවැය ලේඛනයේ අයවැය යෝජනා තවදුරටත් විමසීමට ලක් කරමින් ආර්‍ථික හා මූල්‍ය අංශවල විද්වතුන් මේ ගැන ඉදිරියේ දී තවදුරටත් අදහස් දක්වනු ඇත. ශ්‍යාම් නුවන් ගනේවත්ත shyam.divaina@gmail.com
99mobile