
ට්‍රම්ප්ගේ පරාජයෙන් ඇමරිකා කොටස් වෙලදපල ඉතිහාසගත කඩාවැටීමක.. එක් දිනකදී ඩොලර් ට්‍රිලියන 2.5ක් අහිමියි..
FM Heart · 3 min read
විශේෂයෙන්ම තාක්ෂණික සමාගම්වල කොටස් විකිණීමේ දැඩි රැල්ලක් නිර්මාණය වීමත් සමඟ, ප්රමුඛ තාක්ෂණික සමාගම් නියෝජනය වන ‘නැස්ඩැක්’ දර්ශකය 5.5% කින් කඩා වැටුණු අතර, එය පසුගිය මාස 18 ක කාලය තුළ වාර්තා වූ දරුණුතම පසුබෑමයි. ඒ අනුව මෑතකදී වාර්තා කළ ඉහළම අගයට වඩා 10% කින් පහත බසිමින් S&P 500 දර්ශකය 4.4% කින් පහත වැටුණු අතර, එය 2025 අප්‍රේල් මාසයෙන් පසු වාර්තා වූ දරුණුතම තනි දින කඩාවැටීම ලෙස සටහන් වේ. අමෙරිකාවේ දැවැන්තම සමාගම් 30 නියෝජනය වන ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය ලකුණු 1,833 කින් හෙවත් 3.4% කින් පහත වැටී ඒකක 51,868 ක් ලෙස දිනය නිමා කළේය. මීට පෙර වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව ලොව විශාලතම සමාගම බවට පත්ව සිටි චිප්ස් නිෂ්පාදන දැවැන්තයා වන Nvidia සමාගමේ කොටස් අගය 9.3% කින් පහත වැටීම හේතුවෙන් මෙම වසර තුළ ඔවුන් ලැබූ සියලු ලාභයන් අහිමි වී ඍණාත්මක කලාපයකට තල්ලු විය. මීට අමතරව පරිගණක මතක චිප්ස් නිෂ්පාදනය කරන SanDisk සමාගමේ කොටස් මිල 22% කින්ද, වෙස්ටර්න් ඩිජිටල් සමාගමේ කොටස් 17% කින්ද ඇද වැටිණි. මෙම පසුබෑම තාක්ෂණික ක්ෂේත්රයෙන් ඔබ්බටද ව්‍යාප්ත වූ අතර S&P 500 දර්ශකයේ සියලුම කර්මාන්ත අංශ 11 ම පාඩු ලැබීය. වෝල් ස්ට්‍රීට් හි සිදුවූ මෙම ඓතිහාසික කඩාවැටීම සම්බන්ධයෙන් සෘජුවම අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, පැවති මැදවාර මැතිවරණයේ ප්‍රතිඵලය මෙම අර්බුදයට වගකිව යුතු බවයි. "මැතිවරණ ප්‍රතිඵලය මත පදනම්ව කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දරුණුතම දිනයකට මුහුණ දුන්නා. මෙය බලා සිටීමටත් කනගාටුදායක දසුනක්! කිසිවකු පෙර නොදුටු ඉහළම තලයකට රට ඔසවා තැබීමට අපට විශාල වෙහෙසක් දැරීමට සිදුවුණා, අවසානයේ සිදුවූයේ මෙයයි," යනුවෙන් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් කර තිබේ. තවදුරටත් අදහස් දැක්වූ ට්‍රම්ප්, "ඔබේ විශ්‍රාම අරමුදල් කඩා වැටුණා. මතක තබා ගන්න, එයට වගකිව යුත්තේ රිපබ්ලිකන්වරුන් නොව මෝඩ ඩිමොක්රටික්වරුන්ය. කෙසේ වෙතත් බිය නොවන්න, අප කෙසේ හෝ පෙරටත් වඩා විශාලව සහ ශක්තිමත්ව නැවත නැගී සිටිනවා" යනුවෙන් සඳහන් කළ අතර, "ඩිමොක්‍රටික්වරුන් අඟහරුවාදා ජයග්‍රහණය කළ නිසා අද කොටස් වෙළෙඳපොළ බිඳ වැටුණා, ඔබටම දොස් පවරා ගන්න!" යනුවෙන්ද පවසා ඇත. 2026 මැදවාර මැතිවරණයේදී ඩිමොක්රටික් පක්ෂය කොංග්රස් මණ්ඩලයේ බලය අත්පත් කර ගැනීම මෙලෙස ට්‍රම්ප්ගේ දැඩි දෝෂාරෝපණයට ලක්විය. මැතිවරණයෙන් පසු කෘත්‍රිම බුද්ධි තාක්ෂණික ක්ෂේත්රය වෙත කොංග්රස් මණ්ඩලයෙන් දැඩි නියාමන පීඩනයක් එල්ල වනු ඇතැයි පළවන සැකය සහ ඩේටා සෙන්ටර් ව්‍යාප්තිය මන්දගාමී වනු ඇතැයි පළවන අනාවැකි හමුවේ ආයෝජකයෝ අවදානම් සහිත කොටස්වලින් ඉවත්ව සුරක්ෂිත වත්කමක් වන අමෙරිකානු භාණ්ඩාගාර බැඳුම්කර දෙසට යොමු වූහ. ඒ හේතුවෙන් වසර 10 ක භාණ්ඩාගාර බැඳුම්කර ඵලදාව පසුගිය සැප්තැම්බර් 09 වනදායින් පසු අවම අගයට වැටිණි. වෝල් ස්ට්‍රීට් කම්පනය ආසියානු වෙළෙඳපොළ දෙසටද කඩිනමින් පැතිර ගිය අතර, සිකුරාදා උදෑසන ගනුදෙනු ආරම්භයේදීම ජපානයේ 'නිකී' දර්ශකය 6% කින්ද, දකුණු කොරියාවේ 'කොස්පි' දර්ශකය 8% කට අධික දැවැන්ත අගයකින්ද පහත වැටුණි.

