
ලොකු ණයක් අරන් වසර 17ක් පරණ Linear Accelerator යන්ත්‍ර ගේන්න යයි..
FM Heart · 2 min read
මෙම අක්‍රමවත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වහාම පූර්ණ විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් අදාළ පැමිණිල්ල ගොනු කර ඇත්තේ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසිනි. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ණය ආධාර යෝජනා ක්‍රමයක් යටතේ 2026/2027 වර්ෂයන් සඳහා මෙම යන්ත්‍ර ප්‍රසම්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර, ඒවා මහරගම අපේක්ෂා රෝහලට සහ ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ලබාදීමට නියමිතව ඇත. කෙසේ වෙතත්, ටෙන්ඩරය සඳහා ඉදිරිපත්ව සිටින සැපයුම්කාර සමාගම විසින් මෙරටට ලබාදීමට යෝජනා කර ඇත්තේ මීට වසර පහළොවකට පමණ පෙර පැවති 2010 වසරේ මාදිලියකට සමාන, යල්පැනගිය තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර බවත්, රෝගීන්ට අවශ්‍ය නවීනතම පහසුකම් නොසලකා හරිමින් එවැනි උපකරණ අධික මිලකට මිලදී ගැනීම බරපතළ රාජ්‍ය මුදල් අවභාවිතයක් බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි. මෙම මිලදී ගැනීම් සම්බන්ධයෙන් අදාළ විෂය භාර පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් දිගින් දිගටම නිලධාරීන් දැනුවත් කර ඇතත්, රෝහල්වල සේවය කරන ඇතැම් භෞතික විද්‍යාඥයන්ගේ පුද්ගලික වුවමනාවන් සහ අදාළ සැපයුම්කාර සමාගම්වල බලපෑම මත මෙම යල්පැනගිය යන්ත්රම තෝරාගැනීමට කටයුතු කරමින් සිටින බවට බරපතළ සැකයක් පවතින බවද පැමිණිල්ලේ සඳහන් වේ. එමෙන්ම, මෙම ටෙන්ඩරයට සම්බන්ධ ප්‍රසම්පාදන හා තාක්ෂණික ඇගයීම් කමිටුවල නිලධාරීන් ඉලක්ක කරගනිමින් අදාළ වෛද්‍ය උපකරණ සමාගම මගින් මෑතකදී ප්රචාරක වැඩසටහන් සහ සුඛෝපභෝගී භෝජන සංග්‍රහ පවා සංවිධානය කර තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත. මේ හේතුවෙන් අදාළ ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන්, තාක්ෂණික ඇගයීම් කමිටු සාමාජිකයන්, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිතයන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ඊට වගකිවයුතු ඉහළ පෙළේ නිලධාරීන් සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස වෛද්‍ය සංගමය අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියි. දීර්ඝ කාලයක සිට මෙම රෝහල් දෙක සඳහා අත්‍යවශ්‍ය ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය විවිධ නිලධාරීන්ගේ සහ ව්‍යාපාරික සමාගම්වල පටු වාසි තකා හිතාමතාම කල්දමමින් සිටින බැවින්, අසරණ පිළිකා රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළන මෙම අර්බුදය කෙරෙහි ජනාධිපතිවරයාගේ ද සෘජු අවධානය යොමුවිය යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

