
බොරැල්ල පහරදීමේ සිද්ධිය; සැකකාර රේන්ජ් රෝවර් රියැදුරු ගංජා පානය කරන්නෙක් !
FM Heart · 2 min read
සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වූ බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ සිදුවූ බව කියන පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් 37 හැවිරිදි සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 20 වැනිදා පස්වරුවේ රේමන්ඩ් මල් ශාලාව අසල පදික මාරුවේදී මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි. පදික සංඥාවේ රතු එළිය දැල්වී තිබියදී පුද්ගලයින් දෙදෙනෙකු මාර්ගය හරහා ගමන් කරමින් සිට ඇති අතර, එම අවස්ථාවේ රාජගිරිය දෙස සිට පැමිණි රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක් පදික මාරුව අසල නවතා තිබේ. එහිදී රියදුරු නළාව නාද කිරීමත් සමඟ ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව පහරදීමක් සිදුවූ බවට මාලබේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බොරැල්ල පොලිසියට පැමිණිලි කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකරු සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඒ අනුව විමර්ශන සිදුකළ පොලිසිය 37 හැවිරිදි සැකකරු ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහු ගංජා භාවිතයට ඇබ්බැහි වී ඇති බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි. සැකකරු පැදවූ රේන්ජ් රෝවර් ජීප් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු අද (22) අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර, සිද්ධියට අදාළව පැමිණිලිකරු විසින් කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කළ ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

