
කොළඹට විශාල ජල ගැලීම්.. මාර්ග රැසක් යටවෙයි.. දීර්ඝ වාහන පෝලිම්...
FM Heart · 2 min read
පැවති අධික වර්ෂාපතනයත් සමඟ කෙටි වේලාවක් තුළ කොල්ලුපිටිය, ගාලු පාර, බොරැල්ල, මරදාන, ආමර් වීදිය, තුම්මුල්ල සහ නගර ශාලාව ආශ්රිත ප්‍රධාන මාර්ග රැසක අඩි එකහමාරකට ආසන්න උසකට ජලය පිරීම හේතුවෙන් රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම පාහේ ඇනහිටියේය. එමෙන්ම කොළඹින් පිටවන අධිවේගී මාර්ග පිවිසුම් ආශ්‍රිතවද කිලෝමීටර් ගණනාවක් දිවෙන දැවැන්ත රථවාහන තදබදයක් නිර්මාණය වී තිබිණි. අධික වර්ෂාවත් සමඟ කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර පිහිටි සංඥා පද්ධතියේ හටගත් හදිසි කාර්මික බිඳවැටීමක් හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ධාවනය පස්වරුවේ දැඩි ලෙස ප්‍රමාද විය. ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය, කැලණිවැලි සහ පුත්තලම මාර්ගවල ධාවනය වන සවස කාර්යාල දුම්රිය රැසක් නියමිත වේලාවට ධාවනය කිරීමට නොහැකි වීම නිසා දුම්රිය ස්ථාන මගීන්ගෙන් පිරී ඉතිරී ගිය අතර, බොහෝ දුම්රිය පැය ගණනාවක් අතරමඟ ප්‍රමාද විය. දිවයින පුරා පවතින අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය සහ දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මීට පෙර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබිණි. එසේම, කොළඹ නාගරික කලාපය තුළ කෙටි වේලාවක් තුළ ඇදහැලෙන මිලිමීටර් 100 ඉක්මවන අධික වර්ෂාපතනයකදී ජලය කඩිනමින් බැසයාමට ඇති කානු පද්ධතිවල පවතින ප්‍රමාණවත් නොවීම සහ අවහිරතා හේතුවෙන් මෙලෙස ක්ෂණික ජල ගැලීම් තත්ත්වයක් නිර්මාණය වන බව ආපදා කළමනාකරණ අංශ මීට පෙරද පෙන්වා දී තිබේ. පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දිනවලදීද සවස් කාලයේදී අපේක්ෂා කළ හැකි බැවින්, රිය ධාවනයේදී සහ ගමන් බිමන් සැලසුම් කිරීමේදී විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ බලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

