FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඉරානයේ ඉතුරු කොටස් විනාශ කරනවා..- පැරදුනු ට්‍රම්ප් යලිත් ඉරානයට ගහන්න යයි..

FM Heart · 2 min read

The Heart Academy
එසේම අවශ්‍ය වුවහොත් ඉරානයේ ඉතිරි කොටස්ද සම්පූර්‍ණයෙන්ම විනාශ කිරීමට සිදුවනු ඇතැයි ජනාධිපතිවරයා එහිදී දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. ධවල මන්දිරයේ ඕවල් කාර්‍යාලයේදී සිය ජාතික ආරක්ෂක කණ්ඩායම සමඟ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ යළි කිසිදු දිනෙක හිස එසවීමට නොහැකි වන පරිදි මුලිනුපුටා දැමීම සඳහා ඉදිරි ක්‍රියාමාර්‍ග තීව්‍ර කරන්නේද යන්න පිළිබඳව සිය පරිපාලනය තීරණය කරනු ඇති බවයි. තමන් සමස්ත රටම විනාශ කිරීමට අකමැති වුවද "සමහර විට මට එසේ කිරීමට සිදුවනු ඇතැයි" සඳහන් කළ ජනාධිපතිවරයා, ඒ පිළිබඳව ලෝකයට ඉතා ඉක්මනින් දැනගැනීමට හැකිවනු ඇති බවද පැවසීය. මෙම ගැටුම් හේතුවෙන් සිදුව ඇති විනාශයෙන් යළි ගොඩනැගීමට ඉරානයට වසර 25ත් 30ත් අතර කාලයක් ගතවනු ඇතැයි පැවසූ හෙතෙම, පවතින ගැටුම් හමුවේ අමෙරිකානු සෙබළුන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද පිළිගත්තේය. ඇක්සියෝස් පුවත් සේවය සමඟ අදහස් දැක්වූ අමෙරිකානු නිලධාරීන් දෙදෙනෙකු අනාවරණය කළේ, මෑතකදී නිමාවූ අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් අනතුරුව ඉරාන අර්‍බුදය සම්බන්ධයෙන් පැවැති පළමු ආරක්ෂක හමුව මෙය බවයි. එහිදී ඉරානයට එරෙහිව අතිරේක ගුවන් ප්‍රහාර එල්ල කිරීම, ආර්‍ථික පීඩනය තවදුරටත් දැඩි කිරීම හෝ යම් එකඟතාවකට පැමිණීම යන විකල්පයන් පිළිබඳව ට්‍රම්ප්ගේ අවධානය යොමුව තිබේ. මධ්‍යවාර මැතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂය ලැබූ ජයග්‍රහණයත් සමඟ ජනාධිපතිවරයාගේ මිලිටරි ක්‍රියාමාර්‍ග කෙරෙහි කොන්ග්‍රස් මණ්ඩලයේ අධීක්ෂණය දැඩි වනු ඇතැයි 'ඉරාන් ඉන්ටර්‍නැෂනල්' පුවත් සේවය පෙන්වා දෙයි. කෙසේ වෙතත්, ලබන ජනවාරි මාසයේදී නව කොන්ග්‍රස් මණ්ඩලය නිල වශයෙන් බලයට පත්වීමට පෙර ඉතිරිව ඇති මාස දෙකක පමණ කෙටි කාලය තුළ ට්‍රම්ප් සිය යුද මෙහෙයුම් කඩිනම් කරනු ඇතැයි විදේශීය දේශපාලන විචාරකයෝ මෙන්ම ඉරාන රාජ්‍ය රූපවාහිනී විශ්ලේෂකයෝද සැක පළ කරති. මේ අතර, පවතින තත්ත්වය පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් එකිනෙකට පරස්පර ප්‍රකාශ සිදු කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්‍තා කරයි. ‘ෆිනෑන්ෂල් ටයිම්ස්’ පුවත්පත වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ තවත් ප්‍රධාන ප්‍රහාරයක් එල්ල කිරීමේ ක්ෂණික සැලසුමක් නොමැති වුවද ඕනෑම මොහොතක ඊට සූදානම්ව සිටින බවයි. ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කිරීමට ගත් තීරණය නිවැරදි බව ඔහු ‘පොලිටිකෝ’ වෙත පවසා ඇති අතර, ‘ද වෝල් ස්ට්‍රීට් ජර්‍නල්’ පුවත්පතට පවසා ඇත්තේ මැතිවරණ ප්‍රතිඵල කෙරෙහිද මෙම තත්ත්වය බලපෑ බවයි. එමෙන්ම ෆොක්ස් නිවුස් නාලිකාව සමඟ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙය යුද්ධයකට වඩා "ඉන්ධන මිල පිළිබඳ ගැටලුවක්" බවයි.
99mobile