
ගම්පහ මහේස්ත්‍රාත්ට හදිසි මාරුවක්... විනිසුරු පුහුණු ආයතනයට..
FM Heart · 1 min read
ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු කර තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතාගේ අත්සනින් යුතුව අදාළ ස්ථාන මාරු නියෝගය නිකුත් කර ඇත. නිරපරාදේ අහිංසක පුරවැසියන් අධිකරණය හමුවට පමුණුවමින් නිස්කාරණයේ නඩු පැවරීමෙන් වළකින ලෙස දිවයිනේ සමස්ත පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් විධිමත් චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත්වරයා මීට පෙර අවස්ථාවකදී පොලිස්පතිවරයාට නියෝග කර තිබිණි. එහෙත් එම නියෝගය ඉටු කිරීමට පොලිස්පතිවරයා අපොහොසත් වීම හේතුවෙන් අධිකරණයේ ගෞරවය හා ආධිපත්‍යය හෑල්ලුවට ලක්ව ඇති බව මහේස්ත්‍රාත්වරයා නිගමනය කළේය. ඒ අනුව, පොලිස් ප්‍රධානියාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ වරද යටතේ චෝදනා ගොනු කර නීතිමය පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී. අධිකරණය හමුවේ ඇති වූ මෙම තත්ත්වයත් සමඟ, පොලිස්පතිවරයා විසින් ගම්පහ මහේස්ත්රාත්වරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. එම පැමිණිල්ල සම්බන්ධයෙන් සිය කරුණු දැක්වීම සහ නිරීක්ෂණ වහාම කොමිසම වෙත යොමු කරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට නියම කර තිබිණි.

