FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ශ්‍රී ලන්කන් මුල්‍ය අගාධයක්.. මුල් කාර්‍තු අලාභය බිලියන 35ක්..

FM Heart · 2 min read

The Heart Academy
මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද මධ්‍ය වාර්‍ෂික මූල්‍ය වාර්‍තාවට අනුව, 2026/27 මූල්‍ය වර්‍ෂයේ පළමු කාර්‍තුව තුළදී පමණක් ශ්‍රීලන්කන් ගුවන් සේවය වාර්‍තා කර ඇති බදු පෙර අලාභය රුපියල් බිලියන 35.6කි. සමාගමේ විගණනය නොකළ කළමනාකරණ ගිණුම් වාර්‍තාවලට අනුව, මෙම කාලසීමාව තුළ උපයා ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 82.8ක් වන අතර, එය පෙර වසරේ අනුරූප කාලසීමාවේ වාර්‍තා වූ රුපියල් බිලියන 62.6ක ආදායමට වඩා වර්‍ධනයකි. කෙසේ වෙතත්, මෙහෙයුම් පිරිවැය, ඉහළ ගුවන් ඉන්ධන සහ නඩත්තු ගාස්තු, විදේශ විනිමය අලාභයන් මෙන්ම ණය සේවාකරණ පොලී පිරිවැය ඉහළ යාම හේතුවෙන් ආදායම ඉක්මවා යමින් දැවැන්ත අලාභයක් වාර්‍තා වී තිබේ. සමාගමේ අනුබද්ධිත ශ්‍රීලන්කන් කේටරින් සමාගම රුපියල් බිලියන 3.4ක ශුද්ධ ලාභයක් උපයා ගැනීම හේතුවෙන් සමස්ත සමූහයේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 32.2ක් දක්වා සුළු වශයෙන් අවම කර ගැනීමට හැකි වී ඇත. එසේ වුවද, 2026 ජූනි මාසය වන විට සමාගමේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 209.9ක් ලෙස සටහන් වෙද්දී සමස්ත වගකීම් ප්‍රමාණය රුපියල් බිලියන 561.4ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් සමාගමේ ප්‍රාග්ධනය බරපතළ ලෙස ඛාදනය වී පවතී. පවතින වාතාවරණය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී විපුල් මිස්‍රා මහතා පෙන්වා දෙන්නේ, මැදපෙරදිග අර්‍බුදය නිසා ගුවන් ගමන් මාර්‍ග අවහිර වීමට අමතරව ගුවන් ඉන්ධන හිඟයක්ද නිර්‍මාණය වී ඇති බවයි. "ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යන විට ඛනිජ තෙල් පිරිපහදු සමාගම් වැඩි වශයෙන් පෙට්‍රල් සහ ඩීසල් නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දෙනවා. එහිදී ගුවන් ඉන්ධන කෙරෙහි යොමුවන අවධානය අඩු වන නිසා ගුවන් ඉන්ධන සැපයුම සීමා වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් ඉන්ධන මිල අධික ලෙස ඉහළ යනවා. අපට බලපා ඇත්තේ හුදෙක් බොරතෙල් මිල වැඩිවීම පමණක් නෙවෙයි, මෙම අතිරේක ඉන්ධන අර්‍බුදයයි. මැදපෙරදිග අර්‍බුදය නිසා පමණක් ගුවන් සමාගමට සිදුවූ නිශ්චිත පාඩුව ගණනය කර අවසන් අතර එම වාර්‍තාව මේ වන විට නිරීක්ෂණ මට්ටමේ පවතිනවා." ශ්‍රීලන්කන් ගුවන් සේවය පවත්වාගෙන යාම සඳහා රජය විසින් පසුගිය කාලය පුරා දැවැන්ත මූල්‍ය ආධාර ලබා දී ඇති අතර, ලංකා බැංකුව සහ මහජන බැංකුව වෙතින් ලබාගෙන තිබූ ණය වාරික ගෙවීම සඳහාද රජය මැදිහත් වී තිබේ. මීට අමතරව කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30ක් මුදාහැර ඇති අතර, ඇමරිකානු ඩොලර් මිලියන 175ක ඇපකර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව ඉතිරි වූ ඩොලර් මිලියන 126.5ක වටිනාකම රජයේ ණය තොගයට පවරාගෙන තිබිණි.
99mobile