
අලුත්ම ශ්‍රේණිගත කිරීම්වලින් ලංකාවේ විශ්වවිද්‍යාල රැසක් පසුබහී..
FM Heart · 2 min read
එම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, අඛණ්ඩව පස්වන වසරටත් මෙරට ඉහළම ශ්‍රේණිගත කිරීම් සහිත උසස් අධ්‍යාපන ආයතනය ලෙස කොළඹ විශ්වවිද්‍යාලය සිය ස්ථානය තහවුරු කරගෙන ඇති නමුත්, එය පෙර වසරට වඩා ස්ථාන 46කින් පසුපසට යමින් 364 වැනි ස්ථානය දක්වා පහත වැටී තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය 389 වැනි ස්ථානයටත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 398 වැනි ස්ථානයටත් පත්ව ඇති අතර, එම විශ්වවිද්‍යාල ත්‍රිත්වය ආසියාවේ හොඳම විශ්වවිද්‍යාල 400 අතර රැඳී සිටියද ඒ සෑම එකක්ම වසර හතරක කාලසීමාව තුළ වාර්තා කළ පහළම ස්ථාන කරා පසුබැසීම කැපී පෙනේ. 2025 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලය 275 වැනි ස්ථානයේ පැවති අතර, ඊට සාපේක්ෂව එය මේ වන විට ස්ථාන 89කින් පහත වැටී ඇත. ශ්‍රේණිගත කිරීමට ඇතුළත් වූ මෙරට විශ්වවිද්‍යාල 12න් 8ක්ම මෙවර පසුබෑමකට ලක්ව ඇති අතර, ප්‍රගතියක් වාර්තා කර ඇත්තේ විශ්වවිද්‍යාල දෙකක් පමණි. ඒ අනුව, මොරටුව විශ්වවිද්‍යාලය ස්ථාන 37ක් ඉදිරියට පැමිණෙමින් 517 වැනි ස්ථානයටත්, කැළණිය විශ්වවිද්‍යාලය ස්ථාන 44කට වඩා ඉදිරියට පැමිණෙමින් 687 වැනි ස්ථානයටත් පත්වෙමින් දේශීය වශයෙන් ඉහළම සාධනීය වර්ධනයක් පෙන්නුම් කර තිබේ. කලාපයේ අනෙකුත් රටවල විශ්වවිද්‍යාල ශීඝ්‍රයෙන් ඉදිරියට යද්දී මෙරට විශ්වවිද්‍යාලවල සමස්ත ලකුණු මට්ටම පෙර පැවති මට්ටමේම එකතැන පල්වීම මෙම පසුබෑමට මූලික හේතුව වී ඇති බව QS ආයතනය පෙන්වා දී ඇත. විශේෂයෙන් සේවා යෝජකයන්ගේ කීර්තිනාමය, ආචාර්ය-ශිෂ්‍ය අනුපාතය සහ ආචාර්ය උපාධිධාරී (PhD) කථිකාචාර්යවරුන්ගේ ප්‍රතිශතය යන දර්ශකයන් හමුවේ මෙරට සියලුම විශ්වවිද්‍යාල පාහේ සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කර තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව 6%කින් ඉහළ යද්දී ආචාර්ය මණ්ඩලය 3%කින් පහත වැටී ඇති අතර, යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය-ශිෂ්‍ය අනුපාතය 24%කින් කඩා වැටී ඇත. එමෙන්ම ජාත්‍යන්තර පර්යේෂණ සහ විදේශීය ආචාර්යවරුන් හා සිසුන් ආකර්ෂණය කරගැනීමේ දර්ශකයන්හිදී ශ්‍රී ලංකාව කලාපීය සාමාන්‍ය අගයන්ට වඩා අතිශය පහළ මට්ටමක පසුවන බවද QS දත්ත හෙළි කරයි. මෙවර ආසියානු ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය හොංකොං විශ්වවිද්‍යාලය විසින් හිමිකරගෙන ඇති අතර, කලාපීය වශයෙන් ඉන්දියාවේ දිල්ලි IIT ආයතනය (66), පකිස්ථානයේ NUST විශ්වවිද්‍යාලය (76) සහ බංග්ලාදේශයේ ඩකා විශ්වවිද්‍යාලය (136) කොළඹ විශ්වවිද්‍යාලයට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටී.

