FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඤාණසාර හිමිගේ සිවුර ගැලවීමට විරෝධය..- සියළු මහනායක හිමිවරුන්ගෙන් ඒකාබද්ද ප්‍රකාශයක්..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම අධිකරණ ක්‍රියාදාමයන්ට කිසිදු පාර්‍ශ්වයකින් බාධා නොවිය යුතු බව අවධාරණය කරන මහානායක හිමිවරුන් , භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදි බව අහෝසි කිරීම යනු හුදෙක් රාජ්‍ය පරිපාලනමය හෝ බන්ධනාගාර රෙගුලාසියකට සීමා වූ කරුණක් නොවන බව පෙන්වා දෙති . එය ගරුතර මහා සංඝරත්නය සතු ශාසනික කර්‍තව්‍යයක් බවත් , භික්ෂුවකගේ භික්ෂුත්වය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ පූර්‍ණ බලධිකාරය අදාළ නිකායේ හෝ පාර්‍ශ්වයේ කාරක මහා සංඝ සභාව සතු වන බවත් එම ලිපියෙහි සඳහන් වේ . ඥානසාර හිමියන් භික්ෂූත්වය අහිමි වන ආකාරයේ පාරාජිකා ආපත්තියකට පත්ව ඇති බවට හෝ උන්වහන්සේ චීවරයෙන් නෙරපිය යුතු බවට අදාළ සංඝ සභාව කිසිදු තීරණයක් ගෙන නොමැති පසුබිමක , බන්ධනාගාර පරිපාලනය විසින් මෙවැනි පියවරක් ගැනීම සමස්ත බුද්ධ ශාසනයේ පැවැත්ම අභියෝගයට ලක් කිරීමක් මෙන්ම බෞද්ධ සම්ප්‍රදායට සිදු කළ බරපතළ හානියක් බව උන්වහන්සේලා පෙන්වා දෙති . තවද , බන්ධනාගාර නීති නියෝග මාලාවේ 550 වැනි රෙගුලාසිය උපුටා දක්වන මහානායක හිමිවරුන් , වරදකරුවන් කරනු ලැබූ සිරකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාර ඇඳුමින් තොරව , වරදකරුවන් වීමට පෙර ඔවුන් ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට ගැළපෙන සිවිල් ඇඳුමකින් ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දී ඇත . ඒ අනුව භික්ෂුවක් සම්බන්ධයෙන් ‘වරදකරු වීමට පෙර ඇඳි ඇඳුම’ වන්නේ චීවරය බවත් , එක්සත් ජාතීන්ගේ සම්මත අවම රීති මාලාවේ ( නෙල්සන් මැන්ඩෙලා රීති ) 17 (3) වගන්තිය ප්‍රකාරව ද සිරකරුවකු පිටතට රැගෙන යාමේදී පුද්ගලික ඇඳුම් ඇඳීමට අවසර තිබිය යුතු බවත් එමඟින් මතක් කර දී තිබේ . එබැවින් අධිකරණ තීන්දුවලට හා බන්ධනාගාර නීතිවලට බාධාවක් නොවන අයුරින් , ඥානසාර හිමියන් බන්ධනාගාරය තුළ රැඳී සිටින කාලසීමාවේදී උන්වහන්සේගේ භික්ෂූත්වයට හානියක් නොවන සේ කටයුතු කිරීමටත් , ඉදිරි නඩු කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී අඛණ්ඩව චීවරධාරීව පෙනී සිටීමට අවශ්‍ය පරිපාලන පහසුකම් සලසා දෙන ලෙසත් මහානායක හිමිවරුන් බන්ධනාගාර බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති . මල්වතු පාර්‍ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්‍ථ සුමංගල , අස්ගිරි පාර්‍ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතන , ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්‍ති සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් මෙම ලිපිය නිකුත් කර ඇති අතර , එහි පිටපතක් අධිකරණ අමාත්‍යවරයා වෙත ද යොමු කර ඇත .

Google AdSense

In-Article Ad