
ශිරන්ති රාජපක්‍ෂ නවලෝක රෝහලට..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ඇය පෙළෙන අක්ෂි රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීම පිණිස, මීට පෙර ප්‍රතිකාර ලබාගත් අදාළ පෞද්ගලික රෝහලේ සුපුරුදු වෛද්‍යවරයා හමුවට ඇයව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ. ඒ අනුව බන්ධනාගාර ආරක්ෂාව යටතේ හෙට දහවල් 12.30 ට ඇයව නවලෝක රෝහල වෙත රැගෙන යාමට නියමිතය. මේ අතර, නඩු විභාගය අතරතුරදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දීර්‍ඝ වශයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය. එහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ 73 වැනි වියෙහි පසුවන තම සේවාදායිකාව දීර්‍ඝ කාලයක සිට බරපතළ රෝගාබාධ කිහිපයකින්ම පෙළෙන තැනැත්තියක් බවයි. 2019 වසරේ සිට ඇය හෘද රෝගී තත්ත්වයන් සඳහා අඛණ්ඩව ප්‍රතිකාර ලබන බවත්, ඇයගේ රුධිර ධමනි කිහිපයක් කොලෙස්ටරෝල් හේතුවෙන් අවහිර වී ඇති බැවින් හෘදයාබාධයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බවත් හෙතෙම පෙන්වා දුන්නේය. මෙවැනි රෝගී තත්ත්වයක පසුවන අයෙකු බන්ධනාගාරගත කළහොත් අධික මානසික ආතතිය හේතුවෙන් ජීවිත අවදානමක් පවා මතුවිය හැකි බව නීතිඥවරයා අවධාරණය කළේය. තවද, 2021 වසරේදී ඇයගේ මොළය ආශ්‍රිතව ස්කෑන් පරීක්ෂණයක් සිදුකර ඇති බවත්, වේලාවක් නිශ්චය කළ නොහැකි ලෙස හිටිහැටියේ ඇතිවන දැඩි කරකැවිල්ල සහ ක්ලාන්තය හේතුවෙන් ඇය බිම ඇදවැටෙන බවත් අධිකරණයට දැනුම් දුන්නේය. ඊට අමතරව ඇයගේ කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධයක් සහ ‘වෙරිකෝස්’ (Varicose veins) රෝගී තත්ත්වය උත්සන්න වී ඇති බැවින්, ඇයට සිය දෛනික කටයුතු පවා තනිවම කරගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බව ද සඳහන් කෙරිණි. මෙවැනි සංකීර්‍ණ රෝගී පසුබිමක පසුවන පුද්ගලයකුට බන්ධනාගාරයක් තුළදී නිසි ප්‍රතිකාර ලබාදිය නොහැකි බැවින් සහ ඇය දැනටමත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සුවය ලබමින් සිටින හෙයින්, මෙම කරුණු සුවිශේෂී තත්ත්වයක් ලෙස සලකා ඇයට ඇප ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
Google AdSense
In-Article Ad

