
‘තෝ ගිහින් හිඟාකාපන්.. උඹේ මිනිහා කොටියෙක්..’ කියා ඥානසාර හිමි එදා මට අධිකරණයේදී බැන්නා..- සන්ධ්‍යා එක්නැලිගොඩ
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව විසින් 2015 වසරේ අගභාගයේදී යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ බව ඇය සිහිපත් කළාය. අනතුරුව 2016 ජනවාරි මස 25 වන දින අදාළ සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇත. එදින එවකට මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව සහ නීතිපති දෙපාර්‍තමේන්තුව වෙනුවෙන් එවකට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටි බවත්, නඩු විභාගයෙන් පසු සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ බවත් ඇය සඳහන් කළාය. එම අවස්ථාවේදී අධිකරණ ශාලාව තුළ රැඳී සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හදිසියේම නැගී සිට ඉතා උස් හඬින් අධිකරණය අමතමින්, ‘පරසුද්දන්ගේ නීතිය නිසා රණවිරුවන් පාවාදෙන බවට’ පවසමින් රජයේ නීතිඥවරුන්ට දැඩි ලෙස බැන වැදුණු බව ඇය පැවසුවාය. තවද "අපිව ඇතුළට දාලා මේ රණවිරුවන් නිදහස් කරන්න" යැයි උන්වහන්සේ මහේස්ත්‍රාත්වරයා හමුවේ කෑගසා ප්‍රකාශ කළ බව ද ඇය සඳහන් කළාය. ඉන් අනතුරුව අධිකරණ ශාලාවේ දොරටුව අසල රැඳී සිටි තමන් වෙත කෝපයෙන් පැමිණි ඥානසාර හිමියන්, අතමිට මොළවා ඇඟිල්ල දිගු කරමින් තර්‍ජනාත්මකව, "උඹේ මිනිහා කොටියෙක්... එල්.ටී.ටී.ඊ. කාරයෙක්... තෝ පලයන් ගිහින් හිඟාකාපන්" යනුවෙන් ඉතා පහත් අන්දමින් අපහාස කර තර්‍ජනය කළ බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසුවාය. සාමාන්‍යයෙන් අධිකරණයක් තුළ ජංගම දුරකථනයක් නාද වුවද දඬුවම් ලැබෙන නීතිමය සම්ප්‍රදායක් පවතින පසුබිමක, විනිසුරුවරයා ඉදිරියේම සිදුවූ මෙම සාහසික ක්‍රියාව හමුවේ තමන්ට පහරදීමක් සිදුවේ යැයි දැඩි බියක් ඇතිවූ බවත්, ඒ හේතුවෙන් වහාම ඉදිරියට ගොස් විනිසුරු අසුන අසලදී මහේස්ත්‍රාත්වරයාට ඒ පිළිබඳ දැනුම් දුන් බවත් ඇය කීවාය. මෙම අශෝභන හැසිරීම සම්බන්ධයෙන් එම අවස්ථාවේදීම රජයේ නීතිඥවරුන් අධිකරණයේ අවධානයට කරුණු ඉදිරිපත් කළ අතර, අනතුරුව සිද්ධිය පිළිබඳව තමන් හෝමාගම පොලිසියට පැමිණිලි කළ බවත් ඇය සඳහන් කළාය. එම පැමිණිල්ල පාදක කරගනිමින් අධිකරණයට කරුණු වාර්‍තා කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පවරා ඥානසාර හිමියන්ට එරෙහිව දඬුවම් නියම වූ බව ද, අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් වන නීතිමය කරුණු මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
Google AdSense
In-Article Ad

