FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සාමාන්‍ය පෙල විෂයන් හතකට අඩු කරන්න සැලසුම්..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්‍රධානත්වයෙන් පාර්‍ලිමේන්තුවේදී රැස්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේදී මෙම කරුණු අනාවරණය විය. එහිදී යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වත්මන් ප්‍රගතිය සමාලෝචනයට ලක් කෙරිණි. යෝජිත නව වැඩපිළිවෙළ යටතේ සාමාන්‍ය පෙළ විෂයයන් සංඛ්‍යාව හතක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා අතර, ඊට ඉතිහාසය සහ සෞන්දර්‍ය විෂයයන් ද ඇතුළත් කිරීමට නියමිතය. ඊට අමතරව, සිසුන්ගේ ප්‍රායෝගික නිපුණතා වර්‍ධනය කිරීම අරමුණු කරගනිමින් 10 සහ 11 ශ්‍රේණිවල සිටම වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමටද සැලසුම් කර ඇත. එමෙන්ම 12 සහ 13 උසස් පෙළ ශ්‍රේණි සඳහා සිසුන් තුළ යහපත් ආකල්ප සහ පුරවැසි වගකීම් ප්‍රවර්‍ධනය කිරීම වෙනුවෙන් සමාජ සංහිඳියාව, නීතිය සහ ආචාර ධර්‍ම ආවරණය වන පරිදි විශේෂ මොඩියුල හඳුන්වා දීමට කටයුතු යොදා තිබේ. මෙහිදී අනාවරණය වූයේ 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම්, පෙළපොත්, ගුරු මාර්‍ගෝපදේශ සහ අදාළ මොඩියුල මේ වන විටත් සකස් කර අවසන්ව ඇති අතර, ඊට අදාළ ගුරු පුහුණු වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. තවද, මෙරට පෙරපාසල් අධ්‍යාපනය විධිමත් කිරීම අරමුණු කරගනිමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර ඇති අතර, පෙරපාසල් ලියාපදිංචි කිරීම, විෂය මාලා සහ ගුරු මාර්‍ගෝපදේශ සම්පාදනය මෙන්ම පෙරපාසල් ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇත. මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්‍ශ්වකරුවන් සහ මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක් ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

Google AdSense

In-Article Ad