FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කොළඹ කුණු එකතු කිරීම අඩාලයි..

FM Heart · 2 min read

The Heart Academy
විපක්ෂ පාර්‍ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙම ගැටලුව පාර්‍ලිමේන්තුවේ අවධානයට යොමු කරමින් සඳහන් කළේ, මෑතකදී කොළඹ නගරයේ ඇතිවූ ගංවතුර තත්ත්වයට විධිමත් ලෙස කසළ බැහැර නොකිරීම සහ කානු පද්ධති නිසි පරිදි නඩත්තු නොකිරීම සෘජුවම බලපෑ බවයි. කොළඹ නාගරික බලප්‍රදේශයේ කසළ කළමනාකරණයට වගකිවයුතු දිස්ත්‍රික්ක තුනක පවතින බරපතළ වාහන සහ සේවක ඌනතාව පිළිබඳව මන්ත්‍රීවරයා මෙහිදී සංඛ්‍යාලේඛන සහිතව කරුණු ගෙනහැර දැක්වීය. කොළඹ 10, 09 සහ 02 කසළ එකතු කිරීමට රථ වාහන 15ක් අවශ්‍ය වුව ද දැනට ධාවනය වන්නේ වාහන 7ක් පමණි. වාහන 8ක හිඟයක් පවතී. කොළඹ 08 රථ වාහන 16ක අවශ්‍යතාවක් පැවතිය ද ක්‍රියාත්මක වන්නේ වාහන 8ක් පමණි. කිරුළපන අවශ්‍ය වාහන 16න් පවතින්නේ වාහන 8ක් පමණි. ට්‍රැක්ටර්, ටිපර් ඇතුළු බර වාහන හිඟයට අමතරව, මෙම දිස්ත්‍රික්ක තුන තුළ පමණක් සනීපාරක්ෂක කම්කරුවන් 400කගේ පමණ හිඟයක් දීර්‍ඝ කාලයක සිට පවතින බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය. ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්‍ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, මෙම රථ වාහන හිඟය කොළඹ මහ නගර සභාවට පමණක් නොව දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන රැසකට බලපා ඇති පොදු ගැටලුවක් බවයි. පළාත් පාලන ආයතන සඳහා අවශ්‍ය වාහන 700ක් පමණ මිලදී ගැනීමට පියවර ගෙන ඇති අතර, ඉන් කොටසක් ලබන දෙසැම්බර් 04 වනදා බෙදාහැරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම 'Clean Sri Lanka' වැඩසටහන යටතේ කොම්පැක්ටර් කසළ රථ මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, ඒවා ලැබුණු වහාම අදාළ පළාත් පාලන ආයතන වෙත ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය. සේවක හිඟය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පිළිගත්තේ, සනීපාරක්ෂක කටයුතු සඳහා බඳවාගත් ඇතැම් සේවකයින් පසුව කාර්‍යාලීය ලිපිකරු රාජකාරි සඳහා අනුයුක්ත කර ඇති බවයි. වරක් කාර්‍යාල සේවයට යොමු වූ පසු ඔවුන් යළි සනීපාරක්ෂක ක්ෂේත්‍ර රාජකාරි සඳහා යාමට අකමැත්තක් දක්වන බව පෙන්වා දුන් මහාචාර්‍ය අබේරත්න මහතා, සියලු සේවකයින් මුල් පත්වීමේ වගකීම්වලට අනුකූලව අදාළ රාජකාරි සඳහා යෙදවීමට කඩිනමින් පියවර ගන්නා බව සහතික විය. මේ අතර, 2027 අයවැය මඟින් අමතර දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් කොළඹ මහ නගර සභාවේ වෘත්තීය සමිති සාමාජිකයින් පිරිසක් ඊයේ විරෝධතාවක ද නිරත වූහ.
99mobile