
රාජ්ය ආයතන 34ක් මුළුමනින්ම වසා දානවා... ඒවායින් කිසි වැඩක් නෑ..- ජනපති
FM Heart · 2 min read
ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ බත්තරමුල්ලේ පැවති රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තු සංගමයේ 100 වන වාර්ෂික මහා සභා රැස්වීමට ප්රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. රට ඉදිරියට ගෙන යාම සඳහා ශක්තිමත් හා ඵලදායී රාජ්ය යාන්ත්රණයක් අත්යවශ්ය සාධකයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මහජන මුදල් නිකරුණේ නාස්ති වන සහ රටට බරක්ව පවතින අක්රීය රාජ්ය ආයතන 34ක් වසා දැමීමට මුදල් අමාත්යාංශය මඟින් තීරණය කර ඇතැයි එහිදී අනාවරණය කළේය. රජය විශ්වාස කරන්නේ නිසි කාර්යක්ෂමතාවයකින් යුත් ශක්තිමත් රාජ්ය සේවයක් මිස අනවශ්ය රාජ්ය ආයතන නඩත්තු කිරීම නොවන බව හෙතෙම පෙන්වා දුන්නේය. අතීතයේදී පෞද්ගලික අංශයට වඩා පුරවැසියන් රජයේ රැකියාවක් තෝරාගැනීමට දැඩි කැමැත්තක් දැක්වුවද, අද වන විට එම තත්ත්වය මුළුමනින්ම උඩුයටිකුරු වී ඇති බව ජනාධිපතිවරයා පිළිගත්තේය. වත්මන් රාජ්ය සේවය තුළ වෘත්තිකයන් රඳවා ගැනීමට තරම් ආකර්ෂණයක් නොමැති වීම හේතුවෙන් මිනින්දෝරුවන්, ඉංජිනේරුවන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයන් මෙන්ම කළමනාකරුවන් බඳවා ගැනීම සහ රඳවා තබා ගැනීම බරපතළ අර්බුදයක්ව පවතින බව ඔහු සඳහන් කළේය. මෙම අර්බුදයට විසඳුමක් ලෙස අස්ථාවර දීමනා ලබා දෙනවා වෙනුවට රාජ්ය සේවකයාගේ ස්ථාවරභාවය තහවුරු වන පරිදි මූලික වැටුප සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට රජය තීරණය කළ බව ජනාධිපතිවරයා ප්රකාශ කළේය. ඒ අනුව අදියර තුනක් යටතේ එම වැඩිවීම ක්රියාත්මක කෙරේ. ඒ අනුව 2024 වර්ෂයට සාපේක්ෂව 2027 වන විට රජයට රාජ්ය සේවකයන්ගේ වැඩි කරන ලද මූලික වැටුප් ගෙවීම සඳහා පමණක් රුපියල් කෝටි 33,000ක (රුපියල් බිලියන 330ක) අතිරේක බරක් දැරීමට සිදුවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. මූලික වැටුප දැවැන්ත ලෙස ඉහළ නංවන බැවින් ඉදිරි අයවැය ලේඛනය හරහා නව දීමනා කෙරෙහි පුළුල් අවධානයක් යොමු නොකළද, මිනින්දෝරුවරුන්ගේ කාර්යාල දීමනාව (රු. 5,700) වැනි අත්යවශ්ය ක්ෂේත්රීය දීමනා පිළිබඳව සලකා බැලීමට පියවර ගන්නා බව හෙතෙම සඳහන් කළේය. තවද 2028 අයවැය තුළදී මූලික වැටුපේ අලුතින් වැඩිවීමක් සිදු නොවන බැවින්, එම වසරේදී රාජ්ය සේවයේ දීමනා පිළිබඳ ගැටලුවලට පුළුල් විසඳුම් ලබා දීමට හැකිවනු ඇතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

