
ශිරන්ති රාජපක්ෂගේ හෘද සැත්කම සාර්ථකයි – ඉදිරියේදි තවත් විවෘත හදවත් සැත්කමක්!
FM Heart · 2 min read
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිදුකරන ලද මූලික හෘද සැත්කම සාර්ථකව අවසන් වූ බව ඇයගේ පවුලේ ආරංචි පවසයි. රෝහල්ගතව ප්රතිකාර ලබන අතරතුර ඇතිවූ හදිසි සෞඛ්ය සංකූලතාවක් හේතුවෙන් වෛද්යවරුන් විසින් මෙම හදිසි සැත්කම සිදු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඇයගේ හෘදයේ පවතින අවහිරතා සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කිරීම උදෙසා ඉදිරියේදී තවත් විවෘත හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිත බවද පවුලේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි. ‘සිරිලිය සවිය’ පදනම හරහා රිජ්වේ ආර්යා ළමා රෝහලට සීටී (CT) ස්කෑනර් යන්ත්රයක් ලබාගැනීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්ය පරිහරණය කළ බවට එල්ල වූ චෝදනාවකට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. එලෙස බන්ධනාගාර භාරයේ පසුවෙද්දී ඇයට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරුණු අතර, එහිදී සිදුකළ වෛද්ය පරීක්ෂණවලදී අනාවරණය වූයේ ඇයගේ හෘදයට රුධිරය සපයන ප්රධාන ධමනිවල අවහිරතා පවතින බැවින් හදිසි බයිපාස් සැත්කමක් සිදුකළ යුතු බවයි. අනතුරුව කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයා විසින් බන්ධනාගාර බලධාරීන් හරහා අධිකරණයට ඉදිරිපත් කළ විශේෂ වෛද්ය වාර්තාවක් සැලකිල්ලට ගත් කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා, ඇයගේ සෞඛ්ය තත්ත්වය සුවිශේෂී කරුණක් ලෙස සලකා දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදාහැරීමට නියෝග කළේය. එලෙස ඇප ලැබීමෙන් පසු ඇය වැඩිදුර විශේෂඥ වෛද්ය ප්රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව සිටියදී මෙම මූලික සැත්කමට මුහුණ දී තිබේ.

