
දොස්තරලා මෙන් දෙගුණයක් සාර්ථක AI දොස්තර එයි.. වර්ජන නෑ.. ඉල්ලීම් නෑ.. MAI-DxO දොස්තර වැඩ අරඹයි..
FM Heart · 3 min read
සංකීර්ණ සෞඛ්ය ගැටලු සහ රෝග නිවැරදිව හඳුනාගැනීමේදී සාමාන්ය වෛද්යවරුන් අභිබවා දෙගුණයකටත් වඩා වැඩි නිරවද්යතාවක් ප්රදර්ශනය කිරීමට තම නවතම කෘත්රිම බුද්ධි (AI) පද්ධතිය සමත්ව ඇති බව Microsoft සමාගම අනාවරණය කළයි. සුප්රකට Science සඟරාවේ පළවූ නවතම පර්යේෂණ වාර්තාවක් පෙන්වා දෙන්නේ, මෙය අනාගතයේ බිහිවන වෛද්ය සුපිරි බුද්ධියක් කරා තැබූ තීරණාත්මක පියවරක් බව මයික්රොසොෆ්ට් AI අංශයේ ප්රධාන විධායක නිලධාරී මුස්තාෆා සුලෙයිමාන් ප්රකාශ කර ඇති බවයි. ‘MAI-DxO’ ලෙස නම් කර ඇති මෙම නව පද්ධතිය, වෛද්ය මණ්ඩලයක් ආකාරයෙන් එකිනෙක සම්බන්ධ වී ක්රියාත්මක වන AI ඒජන්තවරුන් කිහිපදෙනෙකුගෙන් සමන්විත වේ. මෙම පද්ධතිය මඟින් රෝගියාගෙන් ප්රශ්න විමසීම, අවශ්ය රසායනාගාර පරීක්ෂණ නියම කිරීම සහ අවසාන රෝග විනිශ්චය පිළිබඳව එකිනෙකා අතර තර්ක කර තීරණයකට එළඹීම සිදු කරයි. ලොව පිළිගත් ‘නිව් එංග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින්’ සඟරාවේ අඩංගු සංකීර්ණ රෝගී තත්ත්වයන් උපයෝගී කරගනිමින් සිදුකළ අනුකරණ පරීක්ෂණයකදී , මෙම AI පද්ධතිය සියයට 83ක නිරවද්යතාවක් පෙන්වීමට සමත්ව ඇත. ඊට සාපේක්ෂව, වෛද්ය ලේඛන සහ පොත්පත් පරිශීලනය කරමින් තනිව රෝග විනිශ්චය කළ ප්රාථමික සත්කාරක සහ අභ්යන්තර වෛද්යවරුන්ට ළඟා කරගත හැකිව ඇත්තේ සියයට 36ක නිරවද්යතාවක් පමණි. කෙසේ වෙතත්, මෙවැනි අතිශය සංකීර්ණ රෝග සාමාන්යයෙන් පරීක්ෂා කරනු ලබන්නේ විශේෂඥ වෛද්ය කණ්ඩායම් විසින් වන අතර, ඔවුන් මෙම සංසන්දනාත්මක පරීක්ෂණයට ඇතුළත් කර නොතිබූ බවද වාර්තාවේ සඳහන් වේ. මයික්රොසොෆ්ට් සමාගම විසින් මෙම ‘DxO’ පද්ධතිය OpenAI, Google, Anthropic, Meta සහ DeepSeek යන සමාගම්වල ප්රමුඛ පෙළේ AI මාදිලි සමඟ පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී OpenAI සමාගමේ GPT-5 සහ GPT-5.5 මාදිලි සමඟින් ඉහළම ප්රතිඵල වාර්තා වී ඇති බවත්, සංකීර්ණ රෝග විනිශ්චයේදී නිරවද්යතාව ඉහළ නැංවීමට මෙන්ම ඒ සඳහා වැයවන පරිගණක පිරිවැය සැලකිය යුතු ලෙස අවම කර ගැනීමටත් මෙම සම්බන්ධීකරණ පද්ධතිය උපකාරී වන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති. සෞඛ්ය ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ හිඟය සහ රෝගීන්ගේ ඉල්ලුම අතර පවතින දැවැන්ත පරතරය පියවීම සඳහා මෙවැනි තාක්ෂණයන් අත්යවශ්ය වන බව මයික්රොසොෆ්ට් AI හි සෞඛ්ය අංශයේ උප සභාපති ඩොමිනික් කිං පවසා ඇත. මෙම පද්ධතිය සැබෑ රෝහල් පරිසරය තුළ පරීක්ෂා කිරීම සඳහා මයික්රොසොෆ්ට් සමාගම මේ වන විට බොස්ටන්හි ‘බෙත් ඊශ්රායෙල් ඩෙකොනස් වෛද්ය මධ්යස්ථානය’ සමඟ හවුල්කාරිත්වයකට එළඹ තිබේ. එහි හදිසි ප්රතිකාර ඒකක වෙත පැමිණෙන රෝගීන්ට සාමාන්ය වෛද්ය ප්රතිකාර ලබා දෙන අතරතුර, රෝගියාගේ එකඟතාව මත මෙම AI පද්ධතියේ සහායද ලබාගෙන මිනිස් වෛද්යවරුන්ගේ සහ AI පද්ධතියේ නිර්දේශ සංසන්දනය කිරීමට නියමිතය. මීට අමතරව, සුප්රකට ‘මේයෝ ක්ලිනික්’ සමඟ එක්ව සෞඛ්ය ක්ෂේත්රය වෙනුවෙන්ම විශේෂිත වූ මූලික AI ආකෘතියක් පුහුණු කිරීමටද මයික්රොසොෆ්ට් පියවර ගනිමින් සිටී. වෛද්ය විද්යාවේ සංකීර්ණ තීරණ ගැනීමේ හැකියාව අතින් මිනිස් වෛද්යවරුන් සමග කරට කර සිටීමට හෝ ඔවුන් අභිබවා යාමට තම AI පද්ධතිවලට හැකියාව ඇති බවට මීට පෙර ගූගල් සහ OpenAI සමාගම්ද ප්රකාශ කර තිබිණි. මයික්රොසොෆ්ට් මෙම නව පර්යේෂණ වාර්තාව එළිදැක්වීමත් සමඟ ගෝලීය සෞඛ්ය සේවා තාක්ෂණ ක්ෂේත්රයේ දැවැන්ත තරගයක් නිර්මාණය වී ඇත. මයික්රොසොෆ්ට් AI ප්රධානී මුස්තාෆා සුලෙයිමාන් යනු මීට පෙර ගූගල් සමාගම විසින් පවරා ගන්නා ලද සුප්රකට DeepMind සමාගමේ සම-නිර්මාතෘවරයෙකු වන අතර, වෛද්ය වාර්තා අධ්යයනය කර රෝගියෙකුගේ අනාගත සෞඛ්ය තත්ත්වය පිළිබඳව කල්තියා නිවැරදි අනාවැකි පළකිරීමේ හැකියාව ඉදිරි වසර කිහිපය තුළදී සෞඛ්ය ක්ෂේත්රය තුළ යථාර්ථයක් බවට පත්වනු ඇතැයි ඔහු දැඩි විශ්වාසය පළ කරයි.

