
සමාජ ජාලාවල වෛරය පතුරන අය අල්ලන්න පොලිස් මෙහෙයුම්...
FM Heart · 2 min read
මෙම සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම බුද්ධි අංශ මගින් මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව අමාත්යවරයා සඳහන් කරයි. එසේම, වෛරී ප්රකාශ පැතිරවීම සම්බන්ධයෙන් පසුගිය වසර 10 ක කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්රස්ත විමර්ශන කොට්ඨාසය මගින් පැමිණිලි 6ක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇති බවද ඔහු අනාවරණය කළේ. ශ්රී ලංකාව තුළ සමාජ මාධ්ය පරිශීලනය ශීඝ්රයෙන් ඉහළ යාමත් සමඟ, මෙරට මෙන්ම විදෙස්ගතව සිටින ඇතැම් පුද්ගලයන්ද ව්යාජ ගිණුම් සකස් කරමින් ජනකොටස් අතර ජාතිවාදී හා ආගම්වාදී වෛරය ව්යාප්ත කිරීමට කටයුතු කරමින් සිටින බව අමාත්යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම මෙවැනි සිදුවීම් විමර්ශනය කිරීමේදී නීතිය ක්රියාත්මක කරන බලධාරීන්ට ප්රායෝගික බාධා රැසකට මුහුණ දීමට සිදුව ඇති බව පැවසූ අමාත්යවරයා, ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් නිල පැමිණිලි නොලැබීම, ඇතැම් සමාජ මාධ්ය ගිණුම් විදෙස් රටවල සිට මෙහෙයවීම සහ පවතින නීතිමය රාමුවේ පවතින සීමාවන් ඊට ප්රධාන හේතු වී ඇති බව සඳහන් කළේය. කෙසේ වෙතත්, එම ව්යාජ ගිණුම් පිටුපස සිටින පුද්ගලයන් නිශ්චිතව හඳුනාගෙන නීතිය හමුවට පැමිණවීමට පොලිසිය අඛණ්ඩව ක්රියාමාර්ග ගනිමින් සිටින බවද ඔහු අවධාරණය කළේය. පාර්ලිමේන්තු මන්ත්රී එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා සඳහන් කළේ, මුස්ලිම් ජාතිකයන්ගේ නම් භාවිත කරමින් ව්යාජ සමාජ මාධ්ය ගිණුම් හරහා වෛරී ප්රකාශ පැතිරවූ බවට සැකපිට ඉබ්බාගමුව ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරු මුස්ලිම් නම් යොදා ගනිමින් ‘වට්ස්ඇප්’ සමූහ සකස් කර, 2026 නොවැම්බර් 11 වන දින ශ්රී දළදා මාළිගාව ඇතුළු ප්රමුඛ පෙළේ බෞද්ධ සිද්ධස්ථාන ඉලක්ක කර ප්රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ව්යාජ තොරතුරු සමාජගත කරමින් නොමග යවනසුලු පණිවිඩ සංසරණය කර ඇති බවද අමාත්යවරයා සභාව හමුවේ වැඩිදුරටත් හෙළි කළේය.

