FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ශ්‍රී ලංකාවට වාර්‍තාගත දැවැන්ත පරාජයක්..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

සවුත්හැම්ප්ටන්හිදී පැවති පළමු 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරදා ලකුණු 119ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 254ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්‍මාණය කළේය. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ එංගලන්ත නායක හැරී බෲක් පන්දු 49කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 10ක් සමගින් නොදැවී ලකුණු 114ක් රැස් කරමින් විශිෂ්ට ශතකයක් වාර්‍තා කළේය. ඔහුට අනගි සහයක් ලබාදුන් ආරම්භක පිතිකරු ජොස් බට්ලර් පන්දු 44කින් ලකුණු 80ක් (හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක්) ලබා ගත්තේය. පන්දු යැවීමේදී වනිඳු හසරංග, එෂාන් මාලිංග, දුනිත් වෙල්ලාලගේ සහ දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින් දවාගත්හ. ලකුණු 255ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට එංගලන්ත පන්දු යවන්නන් හමුවේ සාර්‍ථක වීමට නොහැකි වූ අතර, පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 135ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ පන්දු 21කින් ලකුණු 33ක් සහ දසුන් ශානක පන්දු 14කින් ලකුණු 24ක් ලබාගත් නමුත් සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාව ඉක්මවා යාමට නොහැකි විය. පන්දු යැවීමේදී විශිෂ්ට දස්කම් දැක්වූ එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක සොනී බේකර් සිය පන්දුවාර 4 තුළ නිලකුණු පන්දුවාරයක් ද සමගින් ලකුණු 12කට කඩුලු 3ක් බිඳහෙලූ අතර, ජෙමී ඕවර්‍ටන් සහ ලියම් ඩෝසන් කඩුලු 2 බැගින් දවාගනිමින් එංගලන්ත ජයග්‍රහණය තහවුරු කළහ. විශිෂ්ට ශතකයක් රැස් කළ හැරී බෲක් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, මෙම ජයග්‍රහණයත් සමග තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්ව තිබේ.

Google AdSense

In-Article Ad