FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

එන අවුරුද්දේ ට්‍රිලියන 3.8ක් ණය ගන්නවා..- ජනපති

FM Heart · 2 min read

The Heart Academy
‘අයවැය සහ වැඩකරන ජනතාව’ යන මැයෙන් පැවති වෘත්තීය සමිති නියෝජිත හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. අයවැය මගින් ප්‍රාග්ධන වියදම් සඳහා තවත් බිලියන 2,000ක් සහ සමාජ සුබසාධන කටයුතු වෙනුවෙන් බිලියන 1,400ක් වෙන් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම සියලු වියදම් පියවා ගැනීමට සිදුව ඇත්තේ ණය මුදල් මගින් බව ද අවධාරණය කළේය. ණය ගෙවීම, ප්‍රාග්ධන වියදම්, වැටුප් සහ සමාජ සුබසාධනය යන ප්‍රධාන අංශ ඉතා තුලනාත්මකව සලකා බලා මෙවර අයවැය ලේඛනය ඉදිරිපත් කර ඇති බව ජනාධිපතිවරයා එහිදී වෘත්තීය සමිති නියෝජිතයින් හමුවේ කරුණු පැහැදිලි කළේය. දින ගණනාවක් පුරා දත්ත සහ ප්‍රස්තාර විශ්ලේෂණය කරමින් සකස් කළ මෙම අයවැය තුලනය බිඳ දැමීමට උත්සාහ කළහොත් එමගින් තවත් පැත්තකට අහිතකර ප්‍රතිඵල ඇති වන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව වැටුප් වියදම් ඉහළ දමන්නේ නම් එම මුදල් ප්‍රාග්ධන වියදම්වලින් ලබා ගැනීමට සිදුවන බවත්, එවැනි පියවරක් ගැනීමට හැකියාවක් නොමැති බවත් ඔහු පැහැදිලි කළේය. රජයේ වියදම් අතරින් ණය සහ පොලී වාරික ගෙවීම සඳහා වන රුපියල් බිලියන 4,850ක මුදල කිසිසේත් කප්පාදු කිරීමට හෝ වෙනස් කිරීමට නොහැකි බවත්, රජය එය ගෙවීමට බැඳී සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. එමෙන්ම රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් අඩු කළ නොහැකි අතර, වැඩි කිරීම් ද සමඟ ඒ වෙනුවෙන් රුපියල් බිලියන 2,185ක මුදලක් ගෙවීමට රජය බැඳී සිටින බව ඔහු පැවසීය. මේ අනුව රජයට ඉතිරිව පවතින්නේ සමාජ සුබසාධන සහ ප්‍රාග්ධන වියදම් යන අංශ පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ප්‍රාග්ධන වියදම් යනු රටේ අනාගත ආයෝජනය බැවින් එය අඩු කිරීමට රජය කිසිසේත්ම සූදානම් නොමැති බව අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජකයා වන්නේ ආණ්ඩුව බැවින් රජය විසින් සිය ආයෝජන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
99mobile