FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

යුද සමයේ අපරාධයන්ට වන්දි ගෙවනු.. යුක්තිය ඉටු කරනු.. ප්‍රසිද්දියේ සමාව ගනු..- UNHRC ලංකාවට දැනුම් දෙයි..

FM Heart · 4 min read

The Heart Academy
‘I died many times’: Attacks on humanitarian assistance in Sri Lanka, 20 years on යන මැයෙන් ප්‍රකාශයට පත් කර ඇති මෙම වාර්‍තාව මගින්, රජය වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටින ලෙසත්, සත්‍යය හා යුක්තිය ඉටු කිරීම සඳහා ස්ථිර පියවර ගන්නා ලෙසත්, වින්දිතයන්ට හා දිවි ගලවා ගත් පිරිසට වන්දි ලබා දී එවැනි සිදුවීම් යළි සිදු නොවන බවට සහතික වන ලෙසත් රජයෙන් උදක්ම ඉල්ලා තිබේ. ශ්‍රී ලංකාවේ මානුෂීය ප්‍රවේශයන් සඳහා දිගු කලක් පුරා පැවති සීමා කිරීම් 2006 වසරේ සිට තීව්‍ර වූ අතර 2009 අවසන් යුද මෙහෙයුම අතරතුර එය උග්‍ර අදියරකට පත් වූ බව එම වාර්‍තාව පෙන්වා දෙයි. එම කාලය තුළ සහන සේවකයන් ඝාතනයට ලක් වූ අතර ආහාර, ඉන්ධන, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම දැඩි ලෙස සීමා කෙරුණි. 2006 සහ 2007 වසරවලදී සෑම මසකම පාහේ අවම වශයෙන් එක් මානුෂීය සේවකයෙකු හෝ ඝාතනයට හෝ බලහත්කාර අතුරුදහන් කිරීමකට ලක් වූ බව ද එහි සඳහන් වේ. එසේම, එල්.ටී.ටී.ඊ. සංවිධානය ද සිය පාලනය යටතේ පැවති ප්‍රදේශවලින් පිටවීමට ඉඩ නොදීමෙන් සහ කාලතුවක්කු හා වෙඩි ප්‍රහාරවලට නිරාවරණය කිරීමෙන් මානුෂීය සේවකයන්ගේ ජීවිත අවදානමේ හෙළූ බව වාර්‍තාව වැඩිදුරටත් පවසයි. දශකයකට වැඩි කාලයක් පුරා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදු කළ විමර්‍ශන සහ එවකට මානුෂීය මෙහෙයුම්වල නිරත වූ පුද්ගලයන් සමඟ පැවැත්වූ සාකච්ඡා ඇසුරින් සැකසුණු මෙම වාර්‍තාව, මෙතෙක් වගවීමක් ඉටු නොවූ සුවිශේෂී සිදුවීම් හතරක් පිළිබඳව විශ්ලේෂණය කරයි. 2006 අගෝස්තු මාසයේදී මුතූර්‍හිදී ප්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයක් වන 'Action contre la Faim - ACF හි දේශීය කාර්‍ය මණ්ඩල සාමාජිකයන් 17 දෙනෙකු ඝාතනය කිරීම (එවකට ලොව පුරා මානුෂීය සේවකයන්ට එල්ල වූ දරුණුතම තනි ප්‍රහාරය), 2006 ජනවාරි 29 සහ 30 යන දිනවල දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ කාර්‍ය මණ්ඩල සාමාජිකයන් හත් දෙනෙකු අතුරුදහන් වීම, එක්සත් ජාතීන්ගේ ආධාර රථ පෙළකට බාධා කරමින් කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම සහ 2009 වසරේ මුල් භාගයේදී පුදුකුඩිඉරිප්පු රෝහලට කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම යන සිදුවීම් ඊට ඇතුළත් වේ. මුතූර් ඝාතනවලින් දශක දෙකකට පසුවත්, ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම අවසන් වී වසර 17කට වැඩි කාලයක් ගතවී ඇතත්, මෙම වාර්‍තාවෙන් විමසා බැලුණු කිසිදු බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුට අපරාධමය වශයෙන් වගකීම් පවරා නොමැති බව වාර්‍තාව අවධාරණය කරයි. මෙලෙස දණ්ඩමුක්තිය අඛණ්ඩව පැවතීම ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් නීති උල්ලංඝනය කිරීම් සාමාන්‍යකරණය වීමටත්, වෙනත් ස්ථානවල අපරාධකරුවන් දිරිමත් වීමටත් හේතු විය හැකි බව එහි දැක්වේ. “වසර විස්සකට පසුවත්, ජාත්‍යන්තර නීතියේ මෙම බරපතළ උල්ලංඝනය කිරීම් සඳහා වන වගවීම බොහෝ දුරට දක්නට නොලැබේ,” යනුවෙන් වාර්‍තාව සඳහන් කරයි. වගවීම මෙලෙස දීර්‍ඝ කාලයක් ප්‍රමාද වීම පිටුපස ඇති රටාවන් හඳුනා ගනිමින් වාර්‍තාව පෙන්වා දෙන්නේ, නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීම් සහ වගකීමෙන් මඟහැරීම්, විමර්‍ශන ආරම්භ කළ ද ඒවා නිරන්තරයෙන් ඇණහිටීම, වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම මෙන්ම අපරාධ විමර්‍ශන හා නඩු පැවරීම් වෙනුවට ප්‍රමාණවත් නොවන විකල්පයක් ලෙස විමර්‍ශන කොමිෂන් සභා පත් කිරීම යන කරුණු ඊට බලපා ඇති බවයි. වගවීම ඉදිරියට ගෙන යාම සඳහා වත්මන් රජය ප්‍රකාශ කර ඇති කැපවීම සහ 2026 මැයි මාසයේදී විමර්‍ශන කොමිෂන් සභා වාර්‍තා හයක් ප්‍රකාශයට පත් කිරීම වාර්‍තාව මගින් පිළිගෙන ඇතත්, විමසා බැලුණු සිදුවීම් සම්බන්ධයෙන් විමර්‍ශන හෝ නඩු පැවරීම්වල ප්‍රගතියක් පිළිබඳ ප්‍රසිද්ධ සාක්ෂි තවමත් අඩු මට්ටමක පවතින බව එහි පෙන්වා දී තිබේ. වත්මන් සන්නද්ධ ගැටුම්වලදී මානුෂීය සේවකයන්ට පහරදීම් සහ ආධාර ප්‍රතික්ෂේප කිරීම් බහුල ලක්ෂණයක් බවට පත්ව ඇති මොහොතක, ශ්‍රී ලංකාව යනු අවසන් වූ පරිච්ඡේදයක් නොවන බවත්, සිදු වූ දේට මුහුණ දීමට අපොහොසත් වීම සහ ඉන් ඇති වූ දණ්ඩමුක්තිය දිවයිනෙන් ඔබ්බට ද බලපෑම් ඇති කර ඇති බවත් මෙම වාර්‍තාව සඳහා අදහස් දැක්වූ බොහෝ දෙනා අවධාරණය කර ඇත. මෙම ප්‍රමාද වූ අවස්ථාවේදී පවා, රජයේ නිල පිළිගැනීම සහ සමාව අයැදීම සමඟින් අණදෙන මට්ටමේ නිලධාරීන් ඇතුළු බරපතළ උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සැකකෙරෙන පුද්ගලයන්ට එරෙහිව අර්‍ථවත්, කඩිනම්, ස්වාධීන හා අපක්ෂපාතී විමර්‍ශන සහ නඩු පැවරීම් සිදු විය යුතු බව වාර්‍තාව පවසයි. වින්දිතයන්ට සහ දිවි ගලවා ගත් අයට ඵලදායී පිළියම් හා වන්දි ලබා දීමටත්, එවැනි උල්ලංඝනය කිරීම් යළි ඇතිවීම වැළැක්වීමටත් පියවර ගන්නා ලෙස එය ඉල්ලා සිටී. එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් සම්බන්ධයෙන්, බාහිර දේශසීමා සහ විශ්වීය අධිකරණ බලය (extraterritorial and universal jurisdiction) පිළිබඳ පිළිගත් මූලධර්‍ම යටතේ හෝ විමර්‍ශන පැවැත්වීමට සහ නඩු පැවරීමට සහාය වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්‍යාලය අනෙකුත් රාජ්‍යයන්ගෙන් ද ඉල්ලා සිටී.
99mobile