
බෙංගාල බොක්කේ යළි අඩු පීඩන තත්ත්වයක්
FM Heart · 2 min read
බෙංගාල බොක්ක ප්‍රදේශයේ නැවතත් අඩු පීඩන තත්ත්වයකට හිතකර මට්ටමක් නිර්‍මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව පවසයි. මෙම තත්ත්වය දෙසැම්බර් මුල වනවිට පැවසිය හැකි බවත් එය කුමන දිශාවකට ගමන් කරනවාද යන්න අධ්‍යයනය කරමින් සිටින බවත් එම දෙපාර්‍තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් අනුරාධපුරය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ඊයේ (23දා) පෙරවරු 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ කරන්දෙණිය නෙල්ලිගොඩ මිලිමීටර් 84.20ක්, බේරුවල දර්‍ගා නගරය මිලිමීටර් 81.20ක්, කළුතර වලල්ලාවිට යටිපාන ප්‍රදේශයට මිලිමීටර් 78.20ක්, රත්නපුර සමන් පෙදෙස මිලිමීටර් 74.20ක් වශයෙන් වැඩිපුර වර්‍ෂාපතනය ලැබී ඇත. දිස්ත්‍රික්ක 20කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 1021ක පුද්ගලයින් 3658ක් පීඩාවට පත්ව ඇති බවට වාර්‍තා වී ඇත. නොවැම්බර් 01 සිට නොවැම්බර් 23 දක්වා වූ මෙම කාලය තුළ මරණ 24ක් සහ තුවාල සිදුවීම් 07ක් වාර්‍තා වී ඇත. නිවාස පූර්‍ණ හානි 02ක් සහ අර්‍ධ නිවාස හානි 577ක් වාර්‍තා වී ඇත. චමින්ද සිල්වා

