FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඉරාන හයිපර්‍සොනික් මිසයිල නව අදියරකට.. කලාපයම වනසන බව කියයි..

FM Heart · 2 min read

The Heart Academy
ටෙහෙරානයේ බැලස්ටික් මිසයිල ශක්තිය කේන්ද්‍ර කරගනිමින් මතුව ඇති මෙම අනතුරු ඇඟවීමත් සමඟ මැදපෙරදිග කලාපය පුරා යළිත් දැවැන්ත යුද බියක් නිර්‍මාණය වී ඇතැයි විදෙස් වාර්‍තා පෙන්වා දෙයි. වොෂින්ටනය හෝ ඊශ්‍රායලය විසින් යළිත් ඉරානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත්, ගල්ෆ් කලාපයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවලට පමණක් නොව, ඔවුන් හා සම්බන්ධ ආර්‍ථික මර්‍මස්ථාන වෙත ද ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරාන බලධාරීහු ප්‍රකාශ කරති. කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන, දත්ත මධ්‍යස්ථාන කෘත්‍රිම බුද්ධි යටිතල පහසුකම් සහ මුහුදු පත්ලේ ඇති සන්නිවේදන රැහැන් පද්ධති මෙම ඉලක්ක අතර වන බවට ද ඉරානය සඳහන් කර තිබේ. මෙම අනතුරු ඇඟවීමත් සමඟ ඉරානයේ Fattah මිසයිල පවුල කෙරෙහි ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුව ඇත. අධික වේගයෙන් දිශාව වෙනස් කරමින් ගමන් කළ හැකි Hypersonic අවියක් ලෙස ඉරානය හඳුන්වා දෙන මෙම මිසයිලය 2023 වසරේදී ප්‍රථම වරට එළිදක්වන ලද අතර, එහි පරාසය කිලෝමීටර් 1,400ක් සහ වේගය ශබ්දයේ වේගය මෙන් 15 ගුණයක් (Mach 15) බව ටෙහෙරානය ප්‍රකාශ කර තිබිණි. අනතුරුව එම වසරේම දිශාව මෙහෙයවීමේ හැකියාව තවදුරටත් ඉහළ නංවන ලද 'ෆත්තාහ්-2' සංස්කරණය ද එළිදක්වන ලදී. කලාපීය පරාසයක බැලස්ටික් මිසයිලයක් ලෙස වර්‍ගීකරණය කර ඇති මෙම අවියේ ප්‍රති-ප්‍රහාරක යාන්ත්‍රණයන් මඟහැරීමේ සැබෑ හැකියාව පිළිබඳව ස්වාධීන තහවුරු කිරීම් සම්බන්ධයෙන් බටහිර ආරක්ෂක විශේෂඥයන් අතර විවාදාත්මක තත්ත්වයක් පැවතියද, ඇමෙරිකානු හෝ ඊශ්‍රායල ප්‍රහාරයකට එරෙහිව සිය ආරක්ෂණ වැට ශක්තිමත් කරගැනීමට ඉරානය මෙම මිසයිල වැඩසටහන දැඩි ලෙස භාවිත කරයි. පසුගිය කාලය පුරාම ඊශ්‍රායලය සහ ඉරානය අතර සෘජු මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර හුවමාරු වීමත්, ඉරාන හිතවාදී සටන්කාමීන් විසින් මැදපෙරදිග අමෙරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමත් හමුවේ කලාපය දැඩි අස්ථාවරත්වයක පසුවේ. මෙවැනි තත්ත්වයක් තුළ, ඉදිරි පියවර සම්බන්ධයෙන් වොෂින්ටනය තවදුරටත් කල්පනාකාරී වන අතර, ඉරානයේ මෙම මිසයිල තර්‍ජනය නව ප්‍රහාර වළක්වාලීමට සමත් වේද නැතහොත් සමස්ත මැදපෙරදිගම විනාශකාරී මහා යුද්ධයකට ඇද දමනු ඇත්ද යන්න පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවෙයි.
99mobile