
“මුදල් දීලා කටඋත්තර ගන්න හැදුවා” - කාවන්තිස්ස හස්තියාගේ සිද්ධිය ගැන ගම්වාසීන්ගෙන් චෝදනාවක්!
FM Heart · 2 min read
කාවන්තිස්ස හස්තියාගේ මරණය හෝ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ප්රමාණවත් විද්යාත්මක සාක්ෂි ඉදිරිපත් කර නොමැති පසුබිමක, හුනුගල්ලෑව ගම්වාසීන්ට අසාධාරණ ලෙස බලපෑම් කරමින් එම වරද ඔවුන් මත පැටවීමට උත්සාහ කරන බවට ගම්වාසීහු චෝදනා කරති. පසුගිය සතියේදී කාවන්තිස්ස හස්තියාගේ සිද්ධියට අදාළව හුනුගල්ලෑව ගමේ බලපත්ර සහිත ගිනිඅවි හිමියන් පිරිසක් නාඳුනන පිරිසක් විසින් රැගෙන ගොස් අතරමඟදී පහර දී ඇති බව ගම්වාසීහු පවසති. එමෙන්ම, පසුව නාඳුනන පිරිස් ගමට පැමිණ මුදල් ලබා දෙමින් තමන්ට අවශ්ය ආකාරයට කටඋත්තර ලබාදෙන ලෙස බලපෑම් කළ බවට ද ඔවුහු චෝදනා කරති. එහිදී, “මේක බාර ගත්තා කියලා කිව්වොත් රුපියල් ලක්ෂයක විතර දඩයක් උසාවියෙන් නියම කරයි. ඒක ගෙවලා මේක ගොඩින් ඉවර කරන්න පුළුවන්” යනුවෙන් අදාළ පිරිස් පැවසූ බව ද ගම්වාසීහු සඳහන් කරති. රෝගාතුර වූ අලි ඇතුන්ට ප්රතිකාර ලබාදීමට සහ ආහාර ලබාදීමට උපකාර කළ තම ගමේ ජනතාව දෙස සමාජය වැරදි ආකාරයෙන් බලන බව පවසන ගම්වාසීහු, මස් වැද්දන් ලෙස හංවඩු ගැසීම හේතුවෙන් ගමක් වශයෙන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වා දෙති. කාවන්තිස්ස හස්තියාගේ ශරීරයේ තිබූ උණ්ඩවල ස්වභාවය හෝ අදාළ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ගිනිඅවි පිළිබඳ විද්යාත්මක සාක්ෂි මෙතෙක් තමන්ට දැනගැනීමට ලැබී නොමැති බව ද ඔවුහු පවසති. එමෙන්ම, කාවන්තිස්ස හස්තියා තම ගමට පැමිණි බවට කිසිදු සාක්ෂියක් හෝ තොරතුරක් තමන් සතුව නොමැති බව ද ගම්වාසීහු අවධාරණය කරති. සාක්ෂි මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්නම්, පසුව ගමට පැමිණ මුදල් ලබාදී බලපෑම් කරමින් සාක්ෂි ලබාගැනීමට උත්සාහ කරන්නේ ඇයිදැයි ගම්වාසීහු ප්රශ්න කරති. වසර 30ක් හෝ 40ක් පුරා එම ගම්මානවල ජීවත් වන තමන්ට නොකළ වරදකට චෝදනා එල්ල වීමෙන් සිදුවන අසාධාරණය පිළිබඳව ද ඔවුහු කනස්සල්ල පළ කරති. ඒ අනුව, කාවන්තිස්ස හස්තියාගේ සිද්ධිය සම්බන්ධයෙන් මෙන්ම තමන්ට එල්ල වන බව කියන බලපෑම් පිළිබඳව ද විධිමත් හා සාධාරණ පරීක්ෂණයක් පවත්වා සත්යය හෙළි කරන ලෙස හුනුගල්ලෑව ගම්වාසීහු රජයෙන් සහ පරිසර අමාත්යාංශයෙන් ඉල්ලා සිටිති.

