FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රුසියාවට යටත් වී යුද්දය අවසන් කරන්නැයි ට්‍රම්ප් යුක්‍රේනයට දන්වයි..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

Bloomberg පුවත් සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ, යුක්‍රේනය මෙල්ල කර යටත් කරවීමේ අරමුණින් වොෂින්ටනය විසින් පියවර ගණනාවක් ගෙන ඇති බවයි. "යුක්‍රේනය බිලිදී යුද්ධය ඉක්මනින් අවසන් කිරීමට වොෂින්ටනයට අවශ්‍ය බව මම විශ්වාස කරන්න කැමති වුණේ නැහැ. නමුත් දැන් සිදුවෙමින් පවතින්නේ එයම බව පැහැදිලියි" යනුවෙන් යුක්‍රේන නායකයා එහිදී අවධාරණය කර තිබේ. ජනාධිපති ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර සබඳතා පෙර නොවූ මට්ටමකින් පිරිහී ගොස් ඇති අතර, දෙපාර්‍ශ්වය අතර දැඩි වචන හුවමාරුවක්ද නිර්‍මාණය වී තිබේ. ට්‍රම්ප් තුළ ඒකාධිපතියන් කෙරෙහි සහජයෙන්ම පවතින ආකර්‍ෂණයක් ඇති බවට සෙලෙන්ස්කි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වක්‍රව සිහිපත් කරමින් ප්‍රකාශ කර ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ යුක්‍රේන ජනතාව සෙලෙන්ස්කිව ධුරයෙන් පහ කළ යුතු බවයි. තවද, සෙලෙන්ස්කි කිසිදා යුද්ධය අවසන් කිරීමට අකමැති පුද්ගලයෙකු බවටද ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහන් කර තිබිණි. දෙරට අතර අර්‍බුදය තවදුරටත් තීව්‍ර වීමට ප්‍රධාන හේතුවක් වූයේ ඉදිරි ඇමරිකානු මැතිවරණය ඉලක්ක කරගනිමින් ඉන්ධන මිල පාලනය කිරීම සඳහා රුසියාවෙන් ඩීසල් මිලදී ගැනීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කිරීමයි. එමඟින් රුසියානු ආර්‍ථිකයට ඩොලර් බිලියන ගණනක අරමුදල් ගලා යන අතර, ඊට සමගාමීව රුසියානු තෙල් පිරිපහදු ඉලක්ක කරගනිමින් යුක්‍රේනය එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර වහාම නතර කරන ලෙසද ධවල මන්දිරය කීව් පාලනයෙන් ඉල්ලා ඇත. මීට අමතරව, චීනයේ ෂෙන්සෙන් නුවරදී රුසියානු ජනාධිපති පුටින්, චීන නායක ෂී ජින්පින් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ත්‍රෛපාර්‍ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කෙරෙන බවට ක්‍රෙම්ලිනය කළ ප්‍රකාශයත් සමඟ, යුක්‍රේනය නොසලකා හරිමින් අසාධාරණ සාම ගිවිසුමක් සිය රට මත බලහත්කාරයෙන් පැටවීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට යුක්‍රේනය සැක පළ කරයි. ඉදිරි පෙළ යුද මෙහෙයුම් සඳහා යුක්‍රේන හමුදාවට ලබා දී තිබූ ඇමරිකානු ආරක්ෂිත චන්ද්‍රිකා අන්තර්‍ජාල ප්‍රවේශය සීමා කිරීමට වොෂින්ටනය පියවර ගෙන ඇති බවට චෝදනා කරන යුක්‍රේනය, රුසියානු බැලිස්ටික් මිසයිල ප්‍රහාර පිළිබඳව මෙතෙක් කල් ඇමරිකාව ලබා දුන් පූර්‍ව බුද්ධි තොරතුරු අනතුරු ඇඟවීම්ද මෑතකදී නතර කර ඇති බව පවසයි. පසුගිය ඉරිදා රාත්‍රියේ කිසිදු පූර්‍ව අනතුරු ඇඟවීමකින් තොරව කීව් අගනුවරට රුසියානු බැලිස්ටික් මිසයිල 16ක් සහ ඩ්‍රෝන 270ක් එල්ල වූ අතර, ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්‍කෝ රූබියෝ සඳහන් කළේ පූර්‍ව අනතුරු ඇඟවීමේ පද්ධතියේ ඇති වූ මෘදුකාංග දෝෂයක් ඊට හේතු වූ බවයි. එමෙන්ම රුසියානු මිසයිල මර්‍දනය කළ හැකි එකම විශ්වාසදායක පලිහ වන ඇමරිකානු ‘පේට්‍රියට්’ මිසයිල පද්ධති තොග යුක්‍රේනයට ලබා දීමද වොෂින්ටනය හිතාමතා ප්‍රමාද කරන බව සෙලෙන්ස්කි පෙන්වා දෙයි.

Google AdSense

In-Article Ad