FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කැලිෆෝනියාව ගිනි ගනී – ගිනි නිවන්න හමුදා හෙලිකොප්ටරත් යෙදවේ

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයේ වේගයෙන් පැතිර යන ලැව් ගිනි නිවා දැමීම සඳහා හමුදා හෙලිකොප්ටර් ද යොදවා ගනු ලැබ තිබෙනවා. දැඩි වියලි කාලගුණය සහ සැන්ටා ඇනා (Santa Ana) චණ්ඩ මාරුතය හේතුවෙනුයි මෙලෙස ලැව් ගිනි පැතිර යමින් තිබෙන්නේ. මේ අතරින් මේ වන විට වැඩිපුරම හානි සිදුව ඇත්තේ ඕරේන්ජ් (Orange) කපොල්ල ප්‍රදේශයේ හටගත් ‘නෝර්‍ටේ’ (Norte) ලැව්ගින්න හේතුවෙන්. ඉකුත් සිකුරාදා දහවල් කාලයේ ආරම්භ වූ මෙම ‘නෝර්‍ටේ’ (Norte) ලැව් ගින්න පැය කිහිපයක් ඇතුළත අක්කර 570 කට වඩා වැඩි ප්‍රදේශයක් පුරා පැතිර ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් නිවාස 6 කටද බරපතල හානි සිදුව ඇති අතර, නිවාස 4,600 ක පමණ පුද්ගලයින්ට වහාම නිවාස වලින් ඉවත්වන ලෙසයි දැනුම් දී තිබෙන්නේ. මේ අනුව පුද්ගලයින් 16,000 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වී තිබෙනවා.​ ආරක්ෂිත පියවරක් ලෙස ප්‍රදේශයේ පාසල් 10 ක් වසා දැමීමට ද බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ගිනි නිවීමේ මෙහෙයුම් අතරතුර ගිනි නිවන භටයින් දෙදෙනෙකුද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. කෙසේ වෙතත් ගිනි නිවීමේ මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙමින් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කර තිබෙන්නේ. එහෙත් තවමත් ගින්න පාලනය කිරීමට හැකිවේ නැහැ. ​මීට අමතරව, මාලිබු (Malibu) ප්‍රදේශයේ හටගත් ‘බ්‍රයිසන්’ (Bryson) ලැව්ගින්නෙන් අක්කර 150 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්‍තාවල සඳහන්. එයින් ගොඩනැගිලි 7,000 කට පමණ තර්‍ජන එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත්, මේ වන විට එම ගින්නෙන් සියයට 52 ක් පමණ පාලනය කිරීමට ගිනි නිවන භටයින් සමත්වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය කියා සිටියේ. ​සැන්ඩියාගෝහි මැරීන් බළකා කඳවුරක් ආසන්නයේ තවත් ලැව් ගින්නක් ඇති වී තිබෙනවා. ‘හෙන්ඩර්‍සන්’ ලෙස නම් කර ඇති මෙම ලැව්ගින්නෙන් අක්කර 2,000 කට වැඩි භූමි ප්‍රමාණයක් දැවී ගොස් ඇති අතර, ඒ හේතුවෙන් ආසන්න ප්‍රධාන මහා මාර්‍ගයක්ද තාවකාලිකව වසා දමා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්‍තාවල සඳහන් වන්නේ. ​විදුලි රැහැන් හරහා තවත් ගිනි ඇති වීමේ අවධානමක් ද පවතින බව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව විදුලි බල සමාගම් විසින් පාරිභෝගිකයින් දහස් ගණනකගේ විදුලි සැපයුම තාවකාලිකව විසන්ධි කිරීමට පියවර ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්‍තාවල සඳහන් වන්නේ. ඉදිරි දින කිහිපය පුරාම තද සුළං පැවතිය හැකි බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙනවා. ඒ නිසා ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමට ගිනි නිවන කණ්ඩායම් සීරුවෙන් තබා තිබෙන බවයි කැලිෆෝනියා පරිපාලකයන් කියා සිටියේ. .

Google AdSense

In-Article Ad