FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රට වටා මහ වැසි.. ගංවතුර අවදානම් නිකුත් කෙරේ...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් මේ සම්බන්ධයෙන් 'ඇම්බර්' (Amber) වර්‍ණයෙන් යුත් අංක 01 දරන විශේෂ පූර්‍ව අනතුරු ඇඟවීමේ නිවේදන දෙකක් නිකුත් කර ඇති අතර, ඒවා ඉදිරි පැය 24 පුරා ක්‍රියාත්මක වේ. කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්‍ෂාව හේතුවෙන් බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාර්‍තා වේ. මේ හේතුවෙන් එම පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්‍ග රැසක් ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතී. මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු දැඩි වර්‍ෂාපතනය හේතුවෙන් පස්බාගේ කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ අවට පිහිටි පහත්බිම් ප්‍රදේශ ජලයෙන් යටවීමේ අවදානමක් හටගෙන තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ ප්‍රදේශවල ගංගා දෙපස සහ පහත්බිම් ආශ්‍රිතව පදිංචි මහජනතාව නිරන්තර විමසිල්ලෙන් පසුවිය යුතු බවත්, අනතුරුදායක මාර්‍ග භාවිත කරන රියදුරන් දැඩි සැලකිල්ලකින් යුතුව රිය ධාවනය කළ යුතු බවත් වාරිමාර්‍ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා අවධාරණය කරයි. එමෙන්ම ඇතිවිය හැකි ගංවතුර ආපදා තත්ත්වයන්ගෙන් මහජන ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය පූර්‍ව ආරක්ෂක පියවර ගන්නා ලෙස ප්‍රදේශයේ ආපදා කළමනාකරණ අංශ වෙතින් ඉල්ලා තිබේ.

Google AdSense

In-Article Ad