FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අපට ලැබී ඇත්තේ ආණ්ඩු බලය පමණයි... පූර්‍ණ රාජ්‍ය බලය තවමත් ලැබී නෑ - ප්‍රසන්න ගුණසේන

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ජනතාව ඡන්දය ප්‍රකාශ කර ලබා දී ඇත්තේ ආණ්ඩු බලය පමණක් බවත්, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීමේ පූර්‍ණ රාජ්‍ය බලය තවමත් රජයට හිමි වී නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්‍ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය. සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ තරුණ සමුළුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ජනාධිපති ධුරය, ආසන 159ක පාර්‍ලිමේන්තු බහුතරය සහ අමාත්‍ය මණ්ඩලය හිමිවීම හරහා ජනතාව තනි දිනකින් ආණ්ඩු බලය ලබා දුන්නද, රාජ්‍ය බලය එක රැයකින් ලබාගත නොහැකි බවයි. ආණ්ඩුවක් ක්‍රියාත්මක කරන සියලු ප්‍රතිපත්ති සහ සංවර්‍ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණය හරහා බැවින්, එම යාන්ත්‍රණය තමන්ට අවශ්‍ය පරිදි ප්‍රතිසංවිධානය කර ගැනීමට යම් සංක්‍රාන්ති කාලයක් ගතවන බවත්, වත්මන් ආණ්ඩුව ගමන් කරමින් සිටින්නේ එම පරිවර්‍තනීය යුගය තුළ බවත් ඔහු කියා සිටියේය. 1971 හෝ 1988/89 වකවානුවල මෙන් සන්නද්ධ අරගලයක් ඔස්සේ බලය ලබා ගත්තේ නම් ආණ්ඩු බලය මෙන්ම රාජ්‍ය බලයද එකවර අත්පත් කර ගැනීමට ඉඩ තිබූ බව පැවසූ ඒ මහතා, එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ඔස්සේ බලය ලබා ගැනීමේදී රාජ්‍ය බලය සම්පූර්‍ණයෙන්ම හිමි කර ගැනීමට කාලයක් ගතවන බව සඳහන් කළේය. ලෝක දේශපාලන ඉතිහාසය තුළ වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය ලබාගෙන රටක් සංවර්‍ධනය කරා මෙහෙයවන ප්‍රථම අවස්ථාව මෙය බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා අතීතයෙන් උගත හැකි වෙනත් ආදර්‍ශ නොමැති බවද අවධාරණය කළේය. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ පිහිටා රාජ්‍ය යාන්ත්‍රණය නිවැරදි දිශානතියකට ගෙන යමින් රට ගොඩනැඟීමේ අභියෝගය ජය ගැනීම වත්මන් පාලනයේ ප්‍රධාන කාර්‍යභාරය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Google AdSense

In-Article Ad

අපට ලැබී ඇත්තේ ආණ්ඩු බලය පමණයි... පූර්‍ණ රාජ්‍ය බලය තවමත් ලැබී නෑ - ප්‍රසන්න ගුණසේන | FM Heart