
ආනයන වියදම් වේගයෙන් ඉහළ යා හැකියි..- මහ බැංකු අධිපති
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
විදේශ සංචිත යනු රජයට හෝ මහ බැංකුවට අයත් සම්පතක් නොව සමස්ත ජාතියේ ඉතුරුම් බැවින් ඒවා කළමනාකරණය කිරීම මහ බැංකු සතු විශාල වගකීමක් බවද ඔහු කීවේය. කෘත්‍රිම බුද්ධිය මගින් මහ බැංකු නිලධාරීන්ගේ තීරණ ගැනීමේ හැකියාව වැඩිදියුණු කළ යුතු නමුත් වගකීම මිනිසුන් සතුවම පැවැතිය යුතු බවද ඔහු පැවසීය. කොළඹදී ආරම්භ වූ විදෙස් සංචිත කළමනාකරුවන්ගේ සමුළුවේදී ඔහු මේ බව කියා සිටියේය. භූ දේශපාලනික බෙදීම්, උපායමාර්‍ගික තරගකාරීත්වය, වෙළෙඳ ආතතීන්, සම්බාධක, ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ බෙදීම්, භාණ්ඩ මිලෙහි අස්ථාවරත්වය, පොලී අනුපාත චක්‍රවල වෙනස්වීම් සහ වේගවත් තාක්ෂණික පරිවර්‍තනය හේතුවෙන් අද වන විට විදේශ සංචිත කළමනාකරණය වඩාත් සංකීර්‍ණ වී ඇති බවද මහ බැංකු අධිපතිවරයා කීවේය. එක් රටක ඇතිවන ගැටුමක් ලෝකයේ බලශක්ති මිල ගණන් කෙරෙහි බලපෑම් එල්ල කළ හැකි බවත් ප්‍රධාන නාවික මාර්‍ගයක සිදුවන බාධාවක් තවත් කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පිහිටි රටක උද්ධමනයට බලපෑම් කළ හැකි බවත් ඔහු පවසා සිටියේය. ශ්‍රී ලංකාව, ආර්‍ථික අර්‍බුදයෙන් පසුව සාර්‍ව ආර්‍ථික මූල්‍ය ස්ථාවරකරණ සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ආර්‍ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ විදේශ අංශය සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය. රටක් විදේශ සංචිත ගොඩනගන්නේ අර්‍බුදයක් ඇතිවනු ඇතැයි අපේක්ෂාවෙන් නොව, මීළඟ අර්‍බුදය පැමිණෙන්නේ කවදා දැයි කිව නොහැකි බැවින් යැයිද ඔහු පැවසීය. විදේශ සංචිත කළමනාකරණයේදී ඇමරිකානු ඩොලරයේ ප්‍රමුඛ භූමිකාව තවදුරටත් පවතින නමුත්, එක් මුදල් ඒකකයකට හෝ එක් අධිකරණ බල ප්‍රදේශයකට අධික ලෙස සංකේන්ද්‍රණය වීමේ අවදානම සම්බන්ධයෙන්ද සංචිත කළමනාකරුවන් අවධානය යොමු කළ යුතු බවද ඔහු පැවසීය. සංචිතවල රන් ප්‍රමාණය ඉහළ නැංවීම පිළිබඳව පමණක් අවධානය යොමු නොකර, සමස්ත සංචිත තුළ රන් සඳහා තිබිය යුතු භූමිකාව තීරණය කළ යුතු බවද ඔහු කීවේය. කෘත්‍රිම බුද්ධිය ඇතුළු නව තාක්ෂණයන් මගින් විදේශ සංචිත කළමනාකරණයේදී වෙළෙඳපොළ නිරීක්ෂණය, අවදානම් හඳුනාගැනීම, අනාගත තත්ත්ව විශ්ලේෂණය සහ පුරෝකතනය වැඩිදියුණු කළ හැකි නමුත්, කෘත්‍රිම බුද්ධිය මිනිස් තීරණ ගැනීම වෙනුවට භාවිත නොකළ යුතු බවද ඔහු පැවසීය.
Google AdSense
In-Article Ad

