FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අධිකරණය තීන්දු ගන්නේ ධර්‍මය මත නොව නීතිය මතයිඅගවිනිසුරු ප්‍රිති පද්මන් සූරසේන කියයි

FM Heart · 5 min read

Google AdSense

After Featured Image

අධිකරණය තීන්දු තීරණ ගනු ලබන්නේ ධර්‍මය මත පිහිටා නොව රටේ පවත්නා නීතිය පදනම් කොට ගෙන යැයි අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඊයේ (02 දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැසීය. 22 වන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති විශේෂ පෙත්සම් පිළිබඳව තම අධිකරණය හමුවේ කරුණු දැක්වීමේදී ඊට පෙර අධිකරණය අමතමින් නීතිඥවරුන් දැක්වූ කරුණු නැවත නැවතත් ගෙනහැර පෑම සිදුනොකර ඉතා අත්‍යවශ්‍ය නෛතික කරුණු පමණක් ඉදිරිපත් කිරීමට සියලුම පාර්‍ශ්ව වගබලා ගත යුතු බව ද අගවිනිසුරුවරයා කීය. සියලුම අධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස වසර දෙකකින් දීර්‍ඝ කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පසුගිය 18 වැනිදා පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විභාගය දෙවන දිනටත් පැවැත්වෙමින් තිබියදී අගවිනිසුරුවරයා එලෙස පැවැසීය. එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විශේෂ පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි, අර්‍ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් හා ගිහාන් කුලතුංග යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ දෙවන දිනටත් පැවැත්විණි. එහිදී එක් පෙත්සම්කරුවකු වන බලංගොඩ කස්සප හිමියෝ විවෘත අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවැසූහ. ස්වාමීනි මා මෙහිදී කරුණු දක්වන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවට අනුකූලව බෞද්ධ භික්ෂුවක් ලෙසටත්, බුදුරජාණන් වහන්සේගේ නියෝජිතයෙක් ලෙසටයි. යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභ්‍යන්තර ව්‍යවස්ථා කීපයක් උල්ලංඝනය වෙනවා. එබැවින් මෙම ව්‍යවස්ථා සංශෝධනය පාර්‍ලිමේන්තුවේ 2/3 බහුතර ඡන්දයකින් සම්මතවීම ප්‍රමාණවත් නෑ. එය ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බව මා සිතනවා. ව්‍යවස්ථාදායකය වන පාර්‍ලිමේන්තුවට හෝ විධායකයට හෝ බැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව වෙනස් කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (5) ව්‍යවස්ථාව නීතියක් බවට පත් කළේ රටේ ජනතාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (4) ව්‍යවස්ථාව සමග ගැටෙනවා. නඩු විසඳන්න අවශ්‍ය වන්නේ වයස නෙමෙයි ප්‍රඥාවයි. (කස්සප හිමිපාණන් එලෙස අවසන් වචන කීපය පවසන විට විනිසුරුවරුන්ගේ මුවගට සිනාවක් මතුවිය.) ඉන් අනතුරුව පෙත්සම්කාර කස්සප හිමිපාණෝ බුදු දහම පිළිබඳව දීර්‍ඝ කරුණු දැක්වීමක් සිදු කළහ. එකී කරුණු දැක්වීම අවසන් කිරීමට පෙර බලංගොඩ කස්සප හිමියන් ඇමතූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙසේ පැවැසීය. “ස්වාමීන් වහන්ස, මා මෙසේ පවසනවාට මට සමාවෙන්න. අනිත් සහෝදර විනිසුරුවරුන්ට කෙසේ වෙතත් මට ඔබවහන්සේ ප්‍රකාශ කළ බුදු දහම පිළිබඳව එතරම් ගැඹුරු දැනීමක් නෑ. අධිකරණය තීන්දු තීරණ ගන්නේ ධර්‍මය මත පිහිටා නෙමෙයි නීතිය පදනම කරගෙනයි. ඒ නිසා ඔබවහන්සේ ඔය කරුණු නීතිය අනුව ඉදිරිපත් කරන්න, එහෙම කියන්න බැරිනම් ඉතිං ගැටලුවකුත් නෑ. දැන් වෙන්නේ අපි නිකං කාලය කා දැමීමක් පමණයි. ඔබවහන්සේ ධර්‍මය ගැන කියනවා අපි නිකන් අහගෙන ඉන්නවා. ඔබවහන්සේට කියන්න තියෙන කරුණු ලිඛිත දේශන මගින් ඉදිරිපත් කරන්න. මට ධර්‍මය ගැන එතරම් අවබෝධයක් නැති බව කීවේ විහිළුවට නෙමෙයි. නමුත් ඔබවහන්සේට විශාල අවබෝධයක් ඇති බව මට පෙනෙනවා. මෙතැන ඉන්න අනිත් අයටත් ඔබවහන්සේ තරම් ධර්‍මය ගැන අවබෝධයක් නැතිව ඇති. ඒ නිසා නීතිමය කරුණු පමණක් අධිකරණයට ඉදිරිපත් කරන්න. උන්වහන්සේගේ කරුණු දැක්වීම අවසන් කිරීමෙන් පසුව එම පනත් කෙටුම්පතට සහය පළකරමින් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ආණ්ඩු පක්‍ෂයේ පාර්‍ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් නිපුනආරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස පැවැසීය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්‍ශ්ව කියනවා මේම සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. ඒක පිළිගන්න බෑ ස්වාමීනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය ගැන කවුරුත් කතා කරන්නේ නෑ. එම සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු සංඛ්‍යාව වැඩි කළා. ඒක ජනමත විචාරණයකට ඉදිරිපත් කළේ නෑ. එසේ නම් ස්වාමීනි විනිසුරු විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම ගැටලුවක් වන්නේ කොහොමද? 1972 ව්‍යවස්ථාවේ විනිසුරු විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 වශයෙන් කර තිබුණා. පසුව 1978 ව්‍යවස්ථාව මගින් එය අවුරුදු 65 දක්වා වැඩි කළා. යෝජිත පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ හා ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමක් වන්නේ නෑ. අතීතයේ විනිසුරුවරුන්ගේ නිවාසවලට ගල්ගැසීම් සිදු වුණා. ජයවර්‍ධන පාලන සමයේ ඇතැම් විනිසුරුවරුන්ට අධිකරණයේ දොර වැසූණා. මේවා තමයි ස්වාධීන අධිකරණයට එල්ල වූ බලපෑම්. නමුත් මේ පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වන්නේ නෑ. ඒ නිසා මේ පනත් කෙටුම්පතට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ. මෙරට අධිකරණ කටයුතු පුළුල් කොට කාර්‍යක්‍ෂම කිරීමේ අරමුණින් රජය විසින් මෙම පනත් කෙටුම්පත් සංශෝධනය ඉදිරිපත් කර ඇති බව එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කරුණු දක්වමින් අධිකරණයට පෙන්වා දුන්නේය. අතරමැදි පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරංජන් අරුල් ප්‍රභාසම්, අන්තර් සේවක සංගමයේ ලේකම් නීතිඥ ජානක අධිකාරි ඇතුළු අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාමර නානායක්කාර, සිහල උරුමය පක්‍ෂයේ නායක සරත් මනමේන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් යන මහත්වරු ද එහිදී කරුණු දැක්වූහ. රජය විසින් පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් හා ඊට සමගාමි අතරමැදි පෙත්සම් විභාගය ඊයේ (02 දා) පස්වරු 5.45ට පමණ අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එකී පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලතාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්‍ලිමේන්තු කථානායකවරයා වෙත දැනුම් දෙන බව නිවේදනය කළේය. අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම්, එම පනත් කෙටුම්පතට සහාය පළකරමින් ගොනුකර තිබූ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කළ කරුණු දැක්විම්වලට සවන්දුන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල එකී පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේනම් අද (03දා) පස්වරු 3.00ට පෙර තම අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද සියලු පාර්‍ශ්වවලට නියෝග කළේය.

Google AdSense

In-Article Ad