
ජාතික ආරක්‍ෂාව තහවුරු කර අවසන්.. දැන් බලන්නේ මහජන ආරක්‍ෂාවයි..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
රටේ ජාතික ආරක්ෂාව දැනටමත් උපරිම අයුරින් තහවුරු කර ඇති බවත් , වර්තමානයේ රජයේ විශේෂ අවධානය යොමු වී ඇත්තේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම කෙරෙහි බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි . මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය . බන්ධනාගාර තුළ පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ අවාසනාවන්ත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කර ඇති බවත් , ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා සහ කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ද විශේෂ ප්‍රකාශ සිදු කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය . මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව විශේෂ විමර්ශන සහ පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය . " දින තුනක් ඇතුළත බන්ධනාගාර හතරක මෙවැනි සිදුවීම් වාර්තා වීම පිටුපස විවිධ හේතු තිබිය හැකියි . ඒ පිළිබඳව ඊයේ සවස ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා . දැනට පවතින විමර්ශන කටයුතු නිසා ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කිරීම මේ මොහොතේ සුදුසු නැහැ ," යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය . රටේ මුහුදු සීමාව ඇතුළු සමස්ත දිවයින පුරාම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව අවධාරණය කළ අරුණ ජයසේකර මහතා , මහජන සාමය සහ නීතිය පවත්වාගෙන යාම සඳහා ඕනෑම අවස්ථාවක පොලිසියට සහාය වීමට ත්‍රිවිධ හමුදාව සූදානමින් සිටින බව ද සඳහන් කළේය . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජය උපරිම විශ්වාසයකින් යුතුව කටයුතු කරන බව ද ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය .
Google AdSense
In-Article Ad

