FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මාධ්‍ය ආයතන වත්කම් ප‍්‍රකාශ අවභාවිත කරන නිසයි පනත සංශෝධනය කරන්නේ..- බිමල්

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන මහජන නියෝජිතයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමේදී ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට රජය කටයුතු නොකරන බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (06) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට ගෙන එන නව සංශෝධන පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, මහජන නියෝජිතයන් යනු සාමාන්‍ය රජයේ නිලධාරීන්ට වඩා වෙනස් කාණ්ඩයක් බැවින් ඔවුන්ගේ වත්කම් පිළිබඳව දැනගැනීමට මහජනතාවට පූර්ණ අයිතියක් ඇති බවයි. මීට පෙර ඉහළ පෙළේ නිලධාරීන් 300කට පමණ සීමා වී තිබූ වත්කම් ප්‍රකාශ ලබාදීමේ ක්‍රියාවලිය, නව පනත යටතේ ඩිජිටල්කරණය කිරීමත් සමඟ එක්ලක්ෂ හැටදහසක් (160,000) දක්වා පුළුල් වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙලෙස තොරතුරු ප්‍රසිද්ධ කිරීමේදී ඇතැම් වගකීම් විරහිත පුද්ගලයන් සහ මාධ්‍ය ආයතන විසින් නිලධාරීන්ගේ දරුවන් සහ පවුලේ සාමාජිකයන්ගේ තොරතුරු අවභාවිත කරමින් ඔවුන්ව අපහසුතාවයට පත් කරන බව නිරීක්ෂණය වී ඇතැයි ද ඔහු සඳහන් කළේය. "අල්ලස් කොමිසමේ වෙබ් අඩවියට ඇතුළත් කර ඇති තොරතුරු විකෘති කරමින් ඇතැම් මාධ්‍ය ආයතන පුද්ගලයන්ට හිරිහැර කරනවා. මේ නිසා රජයේ නිලධාරීන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා යම් සීමාවන් පැනවීමට අල්ලස් කොමිසම යෝජනා කළා. නමුත් ආණ්ඩුවක් ලෙස අප තීරණය කළේ මහජන නියෝජිතයන්ට එම සීමාවන් අදාළ නොවිය යුතු බවයි. ඔවුන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ වත්කම් පිළිබඳව මහජනතාවට ඕනෑම වෙලාවක පරීක්ෂා කිරීමට ඇති අයිතිය අපි එලෙසම තහවුරු කරනවා," යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙම නව සංශෝධනය හරහා රජයේ නිලධාරීන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන අතරම, දේශපාලනඥයන්ගේ මූල්‍ය විනිවිදභාවය තවදුරටත් ඉහළ මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව ද සභානායකවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

Google AdSense

In-Article Ad