
Google Drive, Google Photo Backup තවතා දමයි..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
බැකප් මෙවලම් සරල කිරීමේ සහ ගූගල් ෆොටෝස් මෘදුකාංගය හරහාම ඡායාරූප කළමනාකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව එම සමාගම තහවුරු කරයි. මෙම වෙනසත් සමඟ, තම පරිගණකයේ ඇති ෆෝල්ඩර ගූගල් ඩ්‍රයිව් මෘදුකාංගය මගින් සමමුහුර්ත (Sync) කර ස්වයංක්‍රීයව ගූගල් ෆොටෝස් වෙත යොමු කළ පරිශීලකයින්ට එම පහසුකම තවදුරටත් හිමි නොවේ. "ගූගල් ඩ්‍රයිව් පරිගණක මෘදුකාංගය 2026 අගෝස්තු 10 වැනිදායින් පසු ගූගල් ෆොටෝස් බැකප් සඳහා සහය නොදක්වයි. ඉන් පසුවත් ඡායාරූප බැකප් කිරීමට අවශ්‍ය නම්, ගූගල් ඩ්‍රයිව් හි ඇති ඡායාරූප සහ වීඩියෝ සෘජුවම ගූගල් ෆොටෝස් වෙත එක් කළ යුතුය," යනුවෙන් ගූගල් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. කෙසේ වෙතත්, මෙමගින් ගූගල් ඩ්‍රයිව් හෝ ගූගල් ෆොටෝස් සේවාවන් අත්හිටුවීමක් සිදු නොවන අතර, සාමාන්‍ය ගොනු සමමුහුර්ත කිරීමේ ක්‍රියාවලිය පෙර පරිදිම සිදුවනු ඇත. මෙහිදී ඉවත් කෙරෙන්නේ ඩ්‍රයිව් මෘදුකාංගය සහ ෆොටෝස් සේවාව අතර පැවති ස්වයංක්‍රීය සබඳතාව පමණි. එමෙන්ම, මේ දක්වා එම ක්‍රමය හරහා බැකප් කර ඇති ඡායාරූප සහ වීඩියෝවලට කිසිදු බලපෑමක් සිදු නොවන බව ද සමාගම අවධාරණය කරයි. ඉදිරියටත් පරිගණකයේ සිට ඡායාරූප බැකප් කිරීමට අවශ්‍ය පරිශීලකයින්ට ගූගල් ෆොටෝස් වෙබ් අඩවිය හරහා සෘජුවම එම කටයුතු සිදු කිරීමට විකල්ප දෙකක් හඳුන්වා දී ඇත. ඒ අනුව, ගූගල් ෆොටෝස් හි ඇති "+" ලකුණ භාවිතයෙන් අදාළ පරිගණක ෆෝල්ඩර තෝරා දීම හෝ ගූගල් ඩ්‍රයිව් හි ඇති ඡායාරූප සෘජුවම ගූගල් ෆොටෝස් වෙත ආනයනය කිරීම සිදු කළ හැකිය. මෙහි ඇති එක් අවාසියක් වන්නේ, පෙර පැවති ක්‍රමය මෙන් පසුබිමින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක නොවී, ගූගල් ෆොටෝස් වෙබ් අඩවිය බ්‍රවුසරය හරහා විවෘතව පවතින විට පමණක් මෙම බැකප් ක්‍රියාවලිය සිදුවීමයි. ජංගම දුරකථන හරහා ඡායාරූප බැකප් කරන පරිශීලකයින්ට මෙයින් බලපෑමක් සිදු නොවන නමුත්, කැමරා හෝ ස්කෑනර් යන්ත්‍ර මගින් පරිගණකයට ලබාගන්නා ඡායාරූප බැකප් කිරීමට මෙම ක්‍රමය භාවිත කළ පිරිස් 2026 අගෝස්තු මසට පෙර නව ක්‍රමවේදයන්ට හුරු විය යුතු බව ගූගල් සමාගම වැඩිදුරටත් දන්වා සිටියි.
Google AdSense
In-Article Ad

