FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නොලැබුණු අයවැය සහන ගැන වෛද්‍යවරුන් අද සාකච්ඡාවක – රෝහල් කටයුතුවලටත් බාධා විය හැකි බවට අනතුරු ඇගවීම්

FM Heart · 2 min read

The Heart Academy
මෙවර අයවැයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපේක්ෂා කළ කරුණු ඉටු නොවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ශාඛා සමිති රැස්වීමක් කැඳවීමට එම සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා වූ කාලය තුළ මෙම ශාඛා සමිති රැස්වීම් පැවැත්වීමට නියමිත බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය බණ්ඩාර වරකාගොඩ මහතා සඳහන් කළේ. ඒ අනුව එම කාලය තුළ රෝහලට කටයුතුවලටද බාධා එල්ල විය හැකි බවටද ප්‍රකාශ කෙරුණා. “දැනුවත් කිරීමේ සතියක් අපි ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඔබ අප කවුරුත් දන්න දේ තමයි මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවෙන්, එහි පුරෝගාමීන් විදිහට වෛද්‍යවරුන් වෙනුවෙන්, 2027 අයවැය යෝජනාවලිය තුළ නිසි සැලකීමක් ලැබිලා නෑ කියන කාරණය. ඉතින් ඒ සම්බන්ධයෙන් අපේ සාමාජිකයන්ගේ, අපේ වෛද්‍ය ප්‍රජාවගේ, අපේ මධ්‍යම කාරක සභාවේ නොසතුට මේ වෙනකොට පළ වෙලා තිබෙනවා. ඒ නිසා අපි මේ රජයෙන් බලාපොරොත්තු වෙනවා ඒ වෙනුවෙන් සාධනීය ප්‍රතිචාරයක් දක්වයි කියලා. වෛද්‍ය ප්‍රජාවක් විදිහට අපිට යුතුකමක් තිබෙනවා මේ රටේ ප්‍රජාව, මේ රටේ පුරවැසියා, මේ රටේ අසරණ අහිංසක රෝගියා, ඒ වගේම අපේ වෛද්‍ය ප්‍රජාව, වෛද්‍ය සාමාජිකයන්, වෛද්‍යවරුන් යන සියලුම කාණ්ඩ දැනුවත් කරන්න මේ සම්බන්ධයෙන් අවධියෙන් තබා ගන්න. ඒ නිසා අපි දැනුවත් කිරීමේ සතිය ආරම්භ කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමාට මේ වෙනකොට දන්වලා තිබෙනවා දවල් 12 සිට දෙවන පැය දක්වා දිවයිනේ දීප ව්‍යාප්ත සියලුම ශාඛා සමිතිවල හදිසි රැස්වීම් කැඳවන්න කියලා.” මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු අදාළ පාර්‍ශ්ව වෙතින් සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදුකළ ද, අද වනතුරුත් ඊට කිසිදු ප්‍රතිචාරයක් හෝ සාකච්ඡාවක් නොලැබුණු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය බණ්ඩාර වරකාගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේ. “අපි හතර වතාවක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම් ඉල්ලලා තිබෙනවා. නමුත් ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් නෑ. ඒ වගේමයි ගරු අග්‍රාමාත්‍යතුමියගෙන් අපි අවස්ථා දෙකකදී සාකච්ඡා සඳහා ඉල්ලීම් ඉල්ලලා තිබෙනවා. ඒ වගේම ගරු සෞඛ්‍ය ඇමතිතුමාගෙනුත් අපි අවස්ථා තුනකදී සාකච්ඡා සඳහා ඉල්ලීම් ඉල්ලුවත් මේ වනතුරු ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් නෑ. ඉතින් ඒක නිසා වගකිවයුතු සංගමයක් විදිහට අපි මේ අවස්ථාවේ අපේ සාමාජිකයාගේ සුබසාධනය වෙනුවෙන්, යහපත වෙනුවෙන්, මේ රටේ අහිංසක රෝගී ජනතාවගේ යහපත වෙනුවෙන් අපි රජයට බල කරලා කියා සිටින්නේ මේ අයවැය යෝජනාවලියේ දෙවන වර, තෙවන වර කියවීමේ අවස්ථාවලදී ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන මේ වෛද්‍යවරුන්ගේ දැවෙන ප්‍රශ්නවලට වහ වහා විසඳුම් දීලා මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය රැකගන්න ඒ සඳහා අවශ්‍ය කරන මූලික පියවර තබන්න.” .
99mobile