
ප්රබලම සුළි කුණාටුවක් ලංකාවට මුහුණලා..
FM Heart · 2 min read
ආපදා කළමනාකරණ මධ්යස්ථානය මඟින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු සියලු මාධ්ය වෙත යොමු කර ඇති විශේෂ නිවේදනයකින් සඳහන් කරන්නේ, ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි අද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය මඟින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි. උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු කලාපයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, ඊයේ (24) රාත්රී 11.30 වන විට එය උතුරු අක්ෂාංශ 15.5° සහ නැගෙනහිර දේශාංශ 91.0° ආසන්නයේ කේන්ද්රගතව පැවතිණි. මෙම පද්ධතිය අද (25) දිනයේදී නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොනදිග බෙංගාල බොක්ක හරහා ගමන් කරමින් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අනතුරුව බටහිරට බරව වයඹ දෙසට ගමන් කරන මෙම පද්ධතිය, හෙට (26) උදෑසන වන විට ‘සුළි කුණාටුවක්’ බවටත්, එළඹෙන 27 වැනිදා උදෑසන වන විට බෙංගාල බොක්ක බටහිර-මධ්යම මුහුදු ප්රදේශය ආශ්රිතව ‘ප්රබල සුළි කුණාටුවක්’ බවටත් පරිවර්තනය වීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් පවතී. මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර වන ගැඹුරු මුහුදු සීමාව තුළ නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසට නියෝග කර ඇත. දැනටමත් එකී මුහුදු කලාපවල රැඳී සිටින සියලුම ධීවර හා නාවික යාත්රාවලට වහාම ආරක්ෂිත ස්ථාන කරා යාත්රා කරන ලෙස තරයේ උපදෙස් දෙනු ලැබේ. නිරිතදිග මෝසම් සමය නිමාවෙමින් දෙවන අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය සක්රීය වන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී බෙංගාල බොක්ක ආශ්රිතව මෙවැනි පීඩන අවපාත හා සුළි කුණාටු ඇතිවීම සුලබ සංසිද්ධියක් වන අතර, එමඟින් ගැඹුරු මුහුදේ දැඩි රළු ස්වභාවයක් මෙන්ම පැයට කිලෝමීටර් 70–80 ඉක්මවූ ප්රචණ්ඩ සුළි සුළං ඇතිවීමේ දැඩි ප්රවණතාවක් පවතී. එබැවින් ධීවර හා නාවික ප්රජාව මේ පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, හදිසි තත්ත්වයකදී හෝ වැඩිදුර විස්තර ලබාගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ 117 හදිසි ඇමතුම් අංකය අමතන ලෙසත් බලධාරීහු දැනුම් දෙති. තවද, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියට නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකි හා නිවේදන කෙරෙහි දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ද ඉල්ලා සිටියි.

