FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නපුර, දෝෂ දුරු කර රටටම ආසිරි පතා පාර්‍ලිමේන්තුවේ දේව පූජාවක්..

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

කථානායකවරයාගේ උපදෙස් මත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්‍තමේන්තුවේ සහයෝගයෙන් ශ්‍රී ලංකා පාර්‍ලිමේන්තුව විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී. ඒ අනුව අද පාර්‍ලිමේන්තු පරිශ්‍රයේ දී නවරාත්‍රී පූජෝත්සවය සැමරීම ආරම්භ කරමින් හින්දු පූජකවරු ආගමික චාරිත්‍ර වල නිරත වූහ. එමෙන්ම මෙම අවස්ථාව ආශීර්‍වාදාත්මක නර්‍තනාංග කිහිපයකින් වර්‍ණවත් විය. ආචාර්‍ය හරිනි අමරසුරිය අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අදහස් දක්වමින්, යහපත් සිතිවිල්ලෙන් සිදු කරනු ලබන මෙම පූජෝත්සවය සමස්ත රටටම ආශීර්‍වාදයක් වන බව පවසා සිටියේය. එසේම අන්‍ය සංස්කෘතීන්ට ගරු කරන ආගමික සහ සංස්කෘතික සහජීවනය තුළින් වඩාත් යහපත් රටක් ඇති කිරීමට හැකි බවත් ඇය පෙන්වා දුන්නාය. මෙහිදී අදහස් දක්වමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, හින්දු විශ්වාසයට අනුව දුර්‍ගා දේවියගේ ආශිර්‍වාදයෙන් අයහපත දුරුවී, ලක්ෂ්මි දේවියගේ ආශීර්‍වාදයෙන් යස ඉසුරින් ආඪ්‍ය වී සරස්වතියගේ ඇල්ම බැල්මෙන් ප්‍රඥාව දියුණු වීම ප්‍රාර්‍ථනා කරන බවත් ‍‍සඳහන් කළේය. එසේම සියලු දෙනාගේම දායකත්වයෙන් කිසිදු භේදයකින් තොරව මෙවැනි සැමරුම් සංවිධානය කිරීම ආදර්‍ශයක් බවත් කථානායකවරයා පැවසීය. භක්තියෙන් සමරනු ලබන හින්දු ආගමික උත්සවයක් ලෙස නවරාත්‍රී උත්සවය හැඳින්වෙන අතර මේ උත්සවය සෑම වසරකම ඔක්තෝබර් මස මුලදී සමරනු ලැබේ. මෙම පූජෝත්සවය පුරා දින 9ක් රාත්‍රී භාගයේ දෙවියන් වෙනුවෙන් පවත්වන හෙයින් " නවරාත්‍රී " උත්සවය ලෙස නම් කොට ඇත. පළමු දින තුනේදී දුර්‍ගා දේවිය වෙනුවෙන් පුද පූජා පවත්වන අතර සියලු දුර්‍ගුණ, නපුර සහ දෝෂ දුරු කිරීමේ බලය ඇය සතුය. ඊළඟ තෙදින තුළ පුදනු ලබන්නේ තමන්ගේ බැතිමතුන් වෙත නොනැසෙන සම්පත සහ යස ඉසුර ලබා දෙන්නී සේ සැලකෙන ලක්ෂ්මී දේවියයි. ප්‍රඥාවේ දේවතාවිය සේ සලකන සරස්වතිය නමදිනු ලබන්නේ අවසන් තෙදින තුළය. මෙකී දින 09න් පසු 10වන දිනයේදී පූජාවක් පැවැත්වෙන අතර එය “විද්‍යා ආරම්භම්” ලෙස හඳුන්වයි. එම පූජාව අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් කරනු ලබන පූජාවක් ලෙස සැළකේ. මේ අවස්ථාව සඳහා හින්දු ආගමික පුජකතුමන්ලා, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්‍ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීහූ ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහභාගී වූහ. එසේම පාර්‍ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම් හංස අබේරත්න යන මහතා ඇතුළු පාර්‍ලිමේන්තු කාර්‍යමණ්ඩලය ද අනුබද්ධ කාර්‍ය මණ්ඩල සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නියෝජනය කරන නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් ද මෙම උත්සවයට සහභාගී වූහ.

Google AdSense

In-Article Ad