FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අපට විශාල පාඩුවක්.. චීනය කොළඹ වරායෙන් යාම ගැන Access කොටස් වෙලදපලට ලියා දන්වයි..

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

ඇක්සස් ඉංජිනියරින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන නියාමන නිලධාරිනි නිලූපා පෙරේරා මහත්මිය වෙත යොමු කර ඇති විශේෂ ආයතනික නිවේදනයක මේ බව සඳහන් වේ. අදාළ නිවේදනයට අනුව, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ බාහිර පරිසරයේ සිදුවූ වෙනස්කම්, නියමිත කාලසටහනෙහි ගැලපීම් මෙන්ම හවුල්කාර පාර්‍ශ්වයන්ගේ අදාළ වාණිජමය අවශ්‍යතා සහ ප්‍රමුඛතාවන් සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතිය සහ ඒ ආශ්‍රිත ගිවිසුම් විධිමත්ව අවසන් කිරීම සඳහා පාර්‍ශ්වකරුවන් බේරුම්කරණ එකඟතාවකට එළඹ ඇත. සවුත් ඒෂියා කොමර්‍ෂල් ඇන්ඩ් ලොජිස්ටික්ස් හබ් ලිමිටඩ් (SACLH) සමාගම තුළ සියයට 15ක කොටස් හිමිකාරිත්වයක් දැරූ ඇක්සස් ඉංජිනියරින් සමාගම, ඒ වෙනුවෙන් යොදවා තිබූ මුළු ආයෝජනය රුපියල් බිලියන 1.762කි. එළඹි බේරුම්කරණ එකඟතාව අනුව, සමාගමට යළි ආපසු ලැබීමට නියමිත සමස්ත මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.453ක් ලෙස තක්සේරු කර තිබේ. එම මුදල සමන්විත වන්නේ කොටස් දෙකෙනි. බේරුම්කරණ ආපසු ගෙවීම් (Settlement refund) යටතේ සමානුපාතික හිමිකම ලෙස ලැබෙන එක්සත් ජනපද ඩොලර් මිලියන 3.286ක් (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.087ක්). බෙදාහැරිය හැකි අරමුදල්වලින් සමාගමට හිමි කොටස ලෙස ලැබෙන ආසන්න වශයෙන් රුපියල් මිලියන 365ක මුදලක්. මෙම ආයෝජනය ඇක්සස් ඉංජිනියරින් සමාගමේ පෞද්ගලික මූල්‍ය වාර්‍තාවල පිරිවැය පදනම මත සටහන් කර ඇති බැවින්, ආයෝජිත මුදල හා යළි ලැබෙන මුදල අතර පරතරය අනුව ආයතනික මට්ටමින් රුපියල් මිලියන 310ක පාඩුවක් ගිණුම්ගත කිරීමට සිදුවන බව කළමනාකාරිත්වය පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පසුගිය 2026 මාර්‍තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්‍ෂයට අදාළ විගණනය කරන ලද ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන මඟින් සමාගම් සමූහය රුපියල් මිලියන 387ක අලාභයක් දැනටමත් හඳුනාගෙන ආයෝජනයේ පොත් වටිනාකම රුපියල් බිලියන 1.38ක් දක්වා අඩු කර ඇති බැවින්, ඉදිරියේදී සමූහයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන කෙරෙහි අමතර සැලකිය යුතු මූල්‍ය පාඩුවක් අපේක්ෂා නොකරන බවද දක්වා ඇත. සැබෑ ගනුදෙනු හා මුදල් පියවීම් සිදුවන දිනවල පවතින විදේශ විනිමය අනුපාත, අවසන් බේරුම්කරණ එකඟතා සහ අදාළ ගිණුම්කරණ ගැලපීම් මත මෙම මූල්‍ය ඇස්තමේන්තුවල සුළු වෙනස්කම් සිදුවිය හැකි බවද සමාගම වැඩිදුරටත් දැනුම් දෙයි. දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛතම බහුවිධ සැපයුම් සහ ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් කොළඹ වරාය තුළ බිහිකිරීමේ අරමුණින් 2023 අප්‍රේල් 24 වන දින මෙම ව්‍යාපෘතිය මුල්වරට නිවේදනය කෙරිණි. සමස්ත ඇස්තමේන්තුගත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 392ක් පමණ වූ මෙම දැවැන්ත ව්‍යාපෘතියේ 70%ක බහුතර කොටස් හිමිකාරිත්වය දරනු ලැබුවේ චීන රජයට අයත් ප්‍රමුඛ සමාගමක් වන 'චයිනා මර්‍චන්ට්ස් පෝර්‍ට් හෝල්ඩින්ග්ස්' විසිනි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සස් ඉංජිනියරින් සමාගම 15% බැගින් වූ කොටස් හිමිකාරිත්වයක් දැරීය. කෙසේ වෙතත්, ගෝලීය භූ-දේශපාලනික ප්‍රවණතා, වෙළෙඳපොළ අවිනිශ්චිතතාව මෙන්ම ආයෝජන ප්‍රමුඛතාවන්හි සිදුවූ උපායමාර්‍ගික වෙනස්වීම් හමුවේ හවුල්කාර පාර්‍ශ්වයන් මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කිරීම මෙරට වරාය සංවර්‍ධන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන පසුබෑමක් ලෙස සැලකේ.

Google AdSense

In-Article Ad