
අක්මා පිළිකා ඖෂධ හිඟයෙන් රෝගීන් අසරණයි.. පෞද්ගලික අංශයේ බෙහෙත් මාත්රාවක් රුපියල් ලක්ෂ හය ඉක්මවයි...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ ‘IV Atezolizumab 1200 mg’ සහ ‘IV Bevacizumab 500 mg’ යන ප්රතිශක්තිකරණ සහ ඉලක්කගත ප්රතිකාර සඳහා භාවිත කරන විශේෂිත ඖෂධ වර්ග දෙක මෙලෙස රෝහල තුළ සම්පූර්ණයෙන්ම නොමැති තත්ත්වයක් උද්ගතව ඇති බවයි. මෙම ඖෂධ වර්ගයක එක් මාත්රාවක් පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමට රෝගියෙකුට වරකට රුපියල් ලක්ෂ හයකට (රු. 600,000) ආසන්න අතිවිශාල මුදලක් දැරීමට සිදුවන අතර, එය සාමාන්ය ජනතාවට කිසිසේත්ම දරාගත නොහැකි බරක් බවද හෙතෙම සඳහන් කළේය. රජයේ රෝහල් පද්ධතිය තුළ නොමැති ඖෂධ හදිසි අවස්ථාවලදී මිලදී ගැනීමට රෝහල් අධ්යක්ෂවරුන්ට බලතල පවරා තිබියදීත්, විශේෂඥ වෛද්යවරුන් නිර්දේශ කරන මෙරට ලියාපදිංචි නොවූ ඖෂධ පවා වෛද්ය සැපයුම් ඒකකය හරහා ගෙන්වා ගැනීමට පැහැදිලි නියාමන ක්රමවේදයක් පවතිද්දීත් මෙවැනි හිඟයක් නිර්මාණය වීම බරපතළ සැකයට තුඩු දෙන්නක් බව විශේෂඥ වෛද්යවරයා පෙන්වා දෙයි. රෝහලක ඖෂධවේදියා මගින් නිසි ක්රමවේදයට අනුව වෛද්ය සැපයුම් ඒකකය දැනුවත් කළ විට, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ හෝ විශේෂ තත්ත්වයන් යටතේ ලබාදෙන තාවකාලික අවසරයන් හරහා රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව සහ වෛද්ය සැපයුම් ඒකකය මැදිහත්ව අදාළ ඖෂධ කඩිනමින් ආනයනය කිරීමේ හැකියාව පවතී. එසේ තිබියදීත් පිළිකා රෝගීන්ට අත්යවශ්ය මෙම ඖෂධ ගෙන්වීමට නිලධාරීන් පියවර නොගැනීම පිටුපස කිසියම් කූට අරමුණක් තිබේදැයි වහා සොයා බැලිය යුතුව ඇත. මහරගම පිළිකා රෝහල අවට පිහිටි පෞද්ගලික ඔසුසල්වල ඇතැම් ඖෂධ අධික මිල ගණන් යටතේ අලෙවි වන පසුබිමක, රජයේ රෝහල් තුළ ඖෂධ හිඟ කිරීම හෝ ඒවා මිලදී ගැනීමේ ක්රියාවලිය හිතාමතා ප්රමාද කිරීම බාහිර ඖෂධ ව්යාපාරික කල්ලිවල අවශ්යතාව මත සිදුවන්නේද යන්න පිළිබඳ වහාම විමර්ශනයක් ඇරඹිය යුතු බව වෛද්ය චමල් සංජීව මහතා අවධාරණය කළේය. රෝහල්වල සේවය කරන ඇතැම් පාර්ශ්ව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්ය සැපයුම් ඒකකයේ නිලධාරීන්ගේ පවතින අකාර්යක්ෂමතාව හෝ හිතාමතා සිදුකරන පැහැර හැරීම් හේතුවෙන් මෙම ජාවාරමට ඉඩ ලැබෙන්නේ නම්, ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කළ යුතු බව හෙතෙම කියා සිටියේය. විශේෂිත සහ මාරාන්තික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින්ද මූල්ය ප්රතිපාදන සලසන පසුබිමක, මෙවැනි අත්යවශ්ය ඖෂධ රෝගීන්ට අහිමි වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සෘජු අවධානය වහා යොමු විය යුතු බවද සංගමය ඉල්ලා සිටියි.
Google AdSense
In-Article Ad

