FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සාමණේර නමකට බරපතළ ලිංගික අපයෝජන කල භික්‍ෂුවකට වසර 10ක සිර දඬුවමක්...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අමල් රණරාජා සහ ආචාර්‍ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. වින්දිත කුඩා සාමණේර හිමියන් විසින් අධිකරණය හමුවේ ලබාදුන් සාක්ෂිය අතිශය විශ්වසනීය සහ පිළිගත හැකි එකක් බවත්, නඩු විභාගය පැවැත්වූ මහාධිකරණ විනිසුරුවරයා එම සාක්ෂිය මත පදනම්ව තීන්දුව ලබාදීම සම්පූර්‍ණයෙන්ම යුක්ති සහගත බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ සඳහන් කර ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ 365(ආ)(2)(ආ) වගන්තිය යටතේ බරපතළ ලිංගික අපයෝජන චෝදනා දෙකකට වරදකරු කරමින් පොළොන්නරුව මහාධිකරණය විසින් මෙම විත්තිකාර භික්ෂුවට මීට පෙර දඬුවම් නියම කර තිබිණි. 2014 නොවැම්බර් 23 සහ 2015 ජනවාරි 23 අතර කාලසීමාව තුළ, එකම විහාරස්ථානයේ වැඩසිටි සත් හැවිරිදි කුඩා සාමණේර හිමිනමකට මෙම ජ්‍යෙෂ්ඨ භික්ෂුව විසින් අදාළ අපයෝජනය සිදුකර තිබූ බව නඩු විභාගයේදී ඔප්පු විය. ඒ අනුව, චෝදනා දෙකටම වෙන් වෙන් වශයෙන් වසර 10 බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 50,000 බැගින් දඩ නියම කළ මහාධිකරණය, දඩ මුදල් නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාස හය බැගින් වූ ලිහිල් සිරදඬුවම් නියම කළේය. එම ප්‍රධාන සිරදඬුවම් දෙකම එකවර ගෙවී යන පරිදි ක්‍රියාත්මක විය යුතු බවට නියෝග කෙරුණු අතර, ඊට අමතරව වින්දිත කුඩා හිමියන්ට රුපියල් ලක්ෂයක (100,000) වන්දි මුදලක් ගෙවීමටද විත්තිකරුට නියම විය. විත්තිකාර භික්ෂුව අභියාචනාධිකරණය හමුවට ගොස් තිබුණේ මෙම දඬුවම අභියෝගයට ලක් කරමිනි. අභියාචනාධිකරණය සිය තීන්දුව මඟින් අවධාරණය කර ඇත්තේ, වින්දිත සාමණේර හිමියන් සිද්ධිය සම්බන්ධයෙන් ඉතා පැහැදිලි හා ස්ථාවර ප්‍රකාශයක් ලබාදී ඇති බවයි. හරස් ප්‍රශ්න ඇසීමේදී මතු වූ සුළු ප්‍රතිවිරෝධතා කිසිවක් සිදුවූ බරපතළ ලිංගික අපයෝජනය පිළිබඳ ප්‍රධාන චෝදනාවලට සෘජුව අදාළ නොවන බැවින්, මහාධිකරණ තීන්දුව වෙනස් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පෙන්වා දෙමින් අභියාචනය නිෂ්ප්‍රභ කෙරිණි. නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා පෙනී සිටියේය.

Google AdSense

In-Article Ad