
මෙරට ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව අපි හදනවා..
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
රුපියල් බිලියන 3කට අධික ආයෝජනයකින් ඉදිකර ඇති මෙම කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කර තිබේ. ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීමට පෙර සිදු කළ යුතු වලංගුකරණ (Validation) ක්රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව, 2027 වසරේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඉන්සියුලින් නිෂ්පාදනයට අමතරව නිර්වින්දන ඖෂධ සහ වේදනා නාශක ඇතුළු ඖෂධ වර්ග නිෂ්පාදනය කිරීමට ද ආයතනය සැලසුම් කර තිබේ. ඉදිරියේදී ඖෂධ වර්ග 33ක් දක්වා නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම එහි අරමුණයි. මෙරට රෝහල් පද්ධතිය සඳහා අවශ්ය ඖෂධවලින් සියයට 85–90ක පමණ ප්රමාණයක් ආනයනය කිරීමට සිදුවන අතර, මෙරට නිෂ්පාදනය කෙරෙන ඖෂධ මඟින් සපුරාලනු ලබන්නේ සියයට 10–15ක පමණ අවශ්යතාවක් බව අමාත්යවරයා මෙහි දී පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ඖෂධ සැපයුමට ඇති වූ බාධා සැලකිල්ලට ගනිමින්, පසුගිය වසර දෙක තුළ රෝහල් පද්ධතියට අඛණ්ඩව ඖෂධ සැපයීම සහතික කිරීම කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කර තිබේ. මේ වන විට රෝහල් පද්ධතියට අවශ්ය ඖෂධ සැපයීමෙන් සියයට 96ක පමණ ප්රමාණයක් සපුරාලීමට හැකි වී ඇති බවත්, ඉතිරි කොටස සම්බන්ධයෙන් පවතින ගැටලු අතර ඖෂධ වර්ග 37ක් සඳහා සැපයුම්කරුවන් ප්රසම්පාදන ක්රියාවලියට ඉදිරිපත් නොවීම ද ඇතුළත් වන බවත් අමාත්යවරයා සඳහන් කළේය. දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීම මඟින් ඖෂධ ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමටත්, දේශීය නිෂ්පාදන අපනයනය තුළින් රටට නව ආදායම් මාර්ග විවෘත කර ගැනීමටත් හැකි වන බව අමාත්යවරයා පැවසීය. මෙරට භූමි ප්රමාණය හෝ ජනගහනය කුඩා වීම ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූල ඖෂධ නිෂ්පාදන කර්මාන්තයක් ගොඩනැඟීමට බාධාවක් නොවන බව පෙන්වා දුන් අමාත්යවරයා අවශ්ය තත්ත්ව ප්රමිතීන් සහ නියාමන අවශ්යතා සපුරාලමින් දේශීය නිෂ්පාදකයන්ට ඉදිරියට යාම සඳහා රජයේ සහාය ලබාදෙන බව ද සඳහන් කළේය. දේශීය ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීමත් සමඟ විදේශීය වෙළෙඳපොළ වෙත පිවිසීමේ අවස්ථා ද වර්ධනය වෙමින් පවතින බව අමාත්යවරයා පැවසීය. ශ්රී ලංකා රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) හරහා මාලදිවයිනට ඖෂධ සැපයීම පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන අතර, ටිමෝර්-ලෙස්ටේ ඇතුළු තවත් රටවල් කිහිපයකින් ද ඖෂධ ලබාගැනීම පිළිබඳ ඉල්ලීම් ලැබී ඇති බවද අමාත්යවරයා සඳහන් කළේය. දැනට ශ්රී ලංකාවට අවශ්ය ඉන්සියුලින් ප්රධාන වශයෙන් ඉන්දියාවේ සමාගම් හතරකින් ආනයනය කෙරේ. මෙරට තුළ ඉන්සියුලින් නිෂ්පාදනය ආරම්භ කිරීමෙන් එහි අඛණ්ඩ සැපයුම තහවුරු කර ගැනීමට මෙන්ම නිෂ්පාදනයේ ගුණාත්මකභාවය නිරීක්ෂණය කිරීමේ හැකියාව ද තවදුරටත් ශක්තිමත් කරගත හැකි වනු ඇතැයි අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය. මෙම කර්මාන්තශාලාව ස්ථාපිත කිරීම දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රයේ වැදගත් ඉදිරි පියවරක් බව සඳහන් කළ අමාත්යවරයා, ඒ සඳහා දායක වූ පාර්ශ්ව වෙත සිය සුබපැතුම් එක් කළේය. මෙම ව්යාපෘතිය ශ්රී ලංකා රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ ඒකාබද්ධ ව්යාපාරයක් ලෙස ක්රියාත්මක වන අතර, වසර 15ක ඖෂධ සැපයුම් ගිවිසුමක් ද සංස්ථාව සමඟ ඇති කරගෙන තිබේ. දේශීය අවශ්යතා සපුරාලීමෙන් අනතුරුව නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළ වෙත යොමු කිරීමට ද ආයතනය අපේක්ෂා කරයි. මෙම අවස්ථාවට ආයතනයේ සාමාන්යාධිකාරී අසීම් කම්තාම්, කළමනාකාර අධ්යක්ෂ තුෂිර රැදැල්ල, මූල්ය කළමනාකාර රවීන් පීරිස්, මානව සම්පත් කළමනාකාර නුවන් ගමගේ, මහජන සම්බන්ධතා නිලධාරී ජී.ඩී.පී. ගුණරත්න යන මහත්වරුන් මෙන්ම ආයතනයේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
Google AdSense
In-Article Ad

