
ලෝකයේම තෙල් මිල වැඩි කරල තියෙන්නෙ.. හරිනං අපිත් වැඩි කරන්නෝනෑ...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළ ගිය ද, එහි පූර්ණ බර ජනතාව මත නොපටවා රජය භාණ්ඩාගාරය මඟින් දරාගැනීමට උපරිමයෙන් කටයුතු කරන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය, කැබිනට් ප්රකාශක වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ප්රකාශ කළේය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී මාධ්යවේදියකු නැඟූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කලේය. ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ඩොලර් 108 දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක, ලොව බොහෝ රටවල් ඉන්ධන මිල සංශෝධනය කර ඇති බව ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එම ගෝලීය මිල වැඩිවීමට සාපේක්ෂව මෙරට ද ඉන්ධන මිල ඉහළ යා යුතු වුවත්, ජනතාව වෙත එම බර පැටවීම වැළැක්වීමට රජය මැදිහත් වී ඇති බව හෙතෙම කියා සිටියේය. ඒ අනුව පසුගිය අප්රේල් මාසයේදී රුපියල් බිලියන 57ක මුදලක් ද, මේ වන විට තවත් රුපියල් බිලියන 41ක මුදලක් ද වශයෙන් පසුගිය මාස කිහිපය තුළ පමණක් රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් භාණ්ඩාගාරය හරහා දරමින් ඉන්ධන මිල පාලනය කරගෙන සිටින බව අමාත්යවරයා අනාවරණය කළේය. රජයක වගකීම වන්නේ ජනතා බදු මුදල් නිසි ලෙස කළමනාකරණය කරමින් මෙවැනි අසීරු අවස්ථාවලදී ජනතාවට අවම බරක් පැටවීම බව ද ඔහු සඳහන් කළේය. ඉදිරියේදී මෙරට ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් පවතින්නේදැයි විමසූ විට අමාත්යවරයා පැහැදිලි කළේ, ලෝක වෙළෙඳපොළේ එම අවදානම පැවතිය ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ඉන්ධන ආනයන සමාගම් සමඟ එක්ව රජය එම පිරිවැය කොටසක් දරාගනිමින් මිල ස්ථාවරව පවත්වා ගැනීමට උපරිම උත්සාහයක නිරත වන බවයි. කෙසේ වෙතත්, මැදපෙරදිග යුද ගැටුම් උත්සන්න වී තෙල් නැව්වලට ප්රහාර එල්ල වීම හෝ තෙල් සංචිත සිඳීයාම වැනි අනපේක්ෂිත තත්ත්වයන් මතුවුවහොත් ලෝක වෙළෙඳපොළ මිල ඩොලර් 150 සීමාව ඉක්මවා යා හැකි බවත්, එවැනි අන්තගාමී තත්ත්වයක් තුළ ස්ථිර අනාවැකි පළ කළ නොහැකි බවත් ඔහු පැවසීය. එසේ වුවද භාණ්ඩාගාරයට ඔරොත්තු දෙන උපරිම සීමාව දක්වා ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පියවර ගන්නා බව අමාත්ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Google AdSense
In-Article Ad

