FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සංවිධානාත්මක අපරාධ මැඬලීමට නව පනත් කෙටුම්පතක් ගැසට් කෙරේ.. පොලිසියට පුළුල් බලතල..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි නිකුත් කර ඇති මෙම පනත් කෙටුම්පත මගින් ජාතික සීමා ඉක්මවූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ විධිවිධාන මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට මෙන්ම පාතාල සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්‍ග ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා ඇත. යෝජිත පනත් කෙටුම්පතට අනුව, සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකු වීම හෝ එවැනි කණ්ඩායමක සාමාජිකයකු ලෙස ක්‍රියා කරමින් බරපතළ අපරාධයක් සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරු වන අයෙකුට මහාධිකරණය මගින් වසර 5කට නොඅඩු සහ වසර 20කට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමේ දණ්ඩනයක් මෙන්ම රුපියල් මිලියනයක් දක්වා දඩ මුදලක් නියම කළ හැකිය. මීට අමතරව පහත සඳහන් වැරදි සම්බන්ධයෙන් ද දැඩි සිරදඬුවම් යෝජනා කර ඇත. සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සහ විමර්‍ශනය කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට සුවිශේෂී බලතල රැසක් හිමි වේ. පොලිස්පතිවරයාගේ හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ඉල්ලීම මත, විෂයභාර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් වරකට මාස දෙකක් නොඉක්මවන කාලයක් සඳහා සැකකරුවකු පොලිස් භාරයේ රඳවා තබාගැනීමේ නියෝග නිකුත් කළ හැකි අතර, එම සමස්ත කාලය වසරක් නොඉක්මවිය යුතුය. එසේම, නඩු විභාගය අවසන් වන තෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම හෝ විශේෂ රැඳවුම් භාරයේ තැබීම සම්බන්ධයෙන් මහාධිකරණයට නියෝග නිකුත් කිරීමේ බලය හිමි වේ. මෙම පනත යටතේ සිදුකරන විමර්‍ශනවලදී සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේදී ඒවා ශ්‍රව්‍ය-දෘශ්‍ය (Audio-Visual) තාක්ෂණය ඔස්සේ පටිගත කිරීම අනිවාර්‍ය කර ඇති අතර, නීතිඥ සහාය ලබා ගැනීමට සැකකරුට ඇති අයිතිය සහතික කර ඇත. සැකකරුවකු අත්අඩංගුවට ගත් වහාම ඒ පිළිබඳව පැය 24ක් ඇතුළත ඔහුගේ ළඟම ඥාතීන්ට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දිය යුතු වේ. තවද, අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන තොරතුරුකරුවන්ගේ අනන්‍යතාව සහ ආරක්ෂාව තහවුරු කිරීමට ද විශේෂ නීතිමය ආවරණයක් සලසා දී තිබේ. මෙම පනත මගින් 1977 අංක 8 දරන උදර්‍පන පනත ද සංශෝධනය වන අතර, විදේශයන්හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට සහ මෙරටින් පලායන අපරාධකරුවන් අදාළ රටවලට භාරදීමට ජාත්‍යන්තර නීති රාමුව ශක්තිමත් කිරීමට නියමිතය.

Google AdSense

In-Article Ad