
මගේ අනන්‍යතාවය මට අවශ්‍යයි.. මගේ ආගම මට වැදගත්.. මගේ භාෂාව මට වැදගත්.. ඉන් තවෙකෙකු මගේ සතුරා විය යුතු නෑ..
FM Heart · 4 min read
Google AdSense
After Featured Image
ඔහු මෙම අදහස් පළ කළේ 2026 ජාත්‍යන්තර භාෂා පරිවර්‍තන දිනය නිමිත්තෙන් රාජ්‍ය භාෂා දෙපාර්‍තමේන්තුව විසින් සංවිධානය කර තිබු උත්සවයට එම දෙපාර්‍තමේන්තු පරිශ්‍රයේදී එක්වෙමිනි . අද අපි එක්වී සිටින්නේ තවත් එක් ජාත්‍යන්තර දිනයක් සැමරීමට පමණක් නොවෙයි. අපි අද කතා කරන්නේ මිනිසුන් අතර සන්නිවේදනය ගොඩනගන, සංස්කෘතීන් අතර පාලම් හදන, අවසානයේ රටක් එකට බැඳ තබන ඉතා වැදගත් වෘත්තියක් ගැනයි. ඒ භාෂා පරිවර්‍තනයයි. පරිවර්‍තකයා එක් භාෂාවක වචනයක් තවත් භාෂාවකට මාරු කරන පුද්ගලයෙකු ලෙස සරලව හඳුන්වන්න පුළුවන්. නමුත් පරිවර්‍තකයා කරන්නේ ඊට වඩා විශාල කාර්‍යයක් සිදු කරනවා. පරිවර්‍තකයින් වචනයක් පමණක් තවකෙකුට ගෙන යන්නේ නැහැ; ඔවුන් අදහසක්, අත්දැකීමක්, සංස්කෘතියක් ගෙන යනවා. සමහර අවස්ථාවලදී, මිනිසෙකුගේ අයිතියක්, දුකක්, සතුටක් බලාපොරොත්තුවක් තවත් මිනිසෙකුට නිවැරදිව ඇසෙන්නට සහ දැනෙන්නට සලස්වනවා. අපේ රටේ මෑත ඉතිහාසයේ බොහෝ අවස්ථාවල දේශපාලනය විසින් මේ විවිධත්වය මිනිසුන් එකතු කිරීමට නොව, මිනිසුන් බෙදීමට භාවිත කළා. ජාතිය, ආගම, භාෂාව කියන මේවා මිනිසුන්ගේ අනන්‍යතාවය වෙනුවට දේශපාලන බලය ලබාගැනීමේ මෙවලම් බවට පත් කළ අවස්ථා අපි දැක තිබෙනවා. තමන්ගේ ඡන්ද පදනම ශක්තිමත් කරගැනීම සඳහා “අපි” සහ “ඔවුන්” කියන බෙදීම නිර්‍මාණය කළ දේශපාලනයක් අපි දැක තිබෙනවා. නමුත් පසුගිය මැතිවරණවලදී ශ්‍රී ලංකාවේ ජනතාව ඉතා වැදගත් තීන්දුවක් ලබා දී තිබෙනවා. ඔවුන් දේශපාලන නායකයන් කිහිප දෙනෙකු පමණක් ප්‍රතික්ෂේප කළේ නැහැ; ජාතිය, ආගම සහ භාෂාව මත බෙදීම් ඇති කරමින් බලය තහවුරු කරගැනීමේ පැරණි දේශපාලන මතවාදයත් ප්‍රතික්ෂේප කළා. මේ ජනවරම අපි හොඳින් තේරුම් ගත යුතුයි. ජනතාව කියන්නේ, “මගේ අනන්‍යතාවය මට අවශ්‍යයි. මගේ ආගම මට වැදගත්. මගේ භාෂාව මට වැදගත්. නමුත් ඒ කිසිවක් නිසා තවත් මිනිසෙකු මගේ සතුරා විය යුතු නැහැ” කියන පණිවිඩයයි. ඒ නිසා අපේ රටට අවශ්‍ය නව දේශපාලන සංස්කෘතියක්. ජාතිවාදී නොවන, ආගම්වාදී නොවන, වෙනස් සංස්කෘතීන්ට ගරු කරන දේශපාලනයක්. අපේ අරමුණ මිනිසුන්ගේ වෙනස්කම් මකා දැමීම නෙවෙයි, වෙනස්කම් තිබියදීත් එකට ජීවත් විය හැකි රටක් ගොඩනැගීමයි. ඒ ගමනේදී භාෂාවට තිබෙන්නේ අතිශය වැදගත් කාර්‍යභාරයක්. රාජ්‍ය සේවය ජනතාවට සමීප කළ යුතු යැයි අපි නිතර කියනවා. නමුත් රාජ්‍ය සේවය ජනතාවට සමීප වන්නේ කාර්‍යාලයක් ගමට ගෙන ගිය පමණින් නොවේ. රාජ්‍යය ජනතාවට තේරෙන භාෂාවෙන් කතා කළ යුතුයි. ගොවියෙකුට තම ඉඩම සම්බන්ධ ලිය කියවිලි තේරෙන්න ඕන. පොලිසියට යන පුරවැසියෙකුට තම පැමිණිල්ල තම භාෂාවෙන් ඉදිරිපත් කිරීමට හැකි විය යුතුයි. රෝහලකට යන මවකට තම රෝගී දරුවා සම්බන්ධව ලබාදෙන වෛද්‍ය උපදෙස් තේරෙන්න ඕන. රාජ්‍ය කාර්‍යාලයකට යන සාමාන්‍ය පුරවැසියෙකු අවශ්‍ය සේවය තමන්ගේ භාෂාවෙන් ලබාගන්න හැකියාව තිබිය යුතුයි. භාෂා පරිවර්‍තකයා රාජ්‍යය සහ පුරවැසියා අතර තිබෙන සන්නිවේදන බාධකය ඉවත් කරනවා. ඒ නිසා පසුගිය වසර තුළ රාජ්‍ය භාෂා දෙපාර්‍තමේන්තුව හඳුන්වා දී ඇති වැඩසටහන් මම දකින්නේ වෙන වෙනම ව්‍යාපෘති ලෙස නොවෙයි. ඒ සියල්ල එකට ගත් විට, අපි දකින්නේ එකම දැක්මක්. එනම් භාෂාව හරහා රාජ්‍යය ජනතාවට සමීප කිරීමේ දැක්මයි. ඒ යටතේ පසුගිය වසර තුළ ආරම්භ කළ වැදගත් වැඩසටහනක් තමයි “ආගමික සහජීවනය සඳහා භාෂාව.” රාජ්‍ය භාෂා දෙපාර්‍තමේන්තුවේ අනුමත පරිවර්‍තක තනතුරු 25කින් 17ක් දිගු කාලයක් පුරප්පාඩුව පැවතුණා. 2019 සිට බඳවාගෙන නැහැ. විශේෂයෙන් මේ පත්වීම් 17 දකින්නේ තනතුරු 17ක් පිරවීමක් ලෙස පමණක් නොවේ. භාෂාව නිසා රාජ්‍යයෙන් දුරස් විය හැකි පුරවැසියන් වෙත තවත් නව දොරවල් 17ක් විවෘත කිරීමක් ලෙසයි. අපේ රටේ දේශපාලනය වෙනස් වෙමින් තිබෙනවා. පැරණි දේශපාලනය වෙනස්කම් භාවිත කළේ බෙදීමටයි. අපේ අභියෝගය වන්නේ ඒ වෙනස්කම් භාවිත කරමින් එකිනෙකා තේරුම් ගන්නා රටක් ගොඩනැගීමයි. ඒ ගමනේදී භාෂා පරිවර්‍තකයාගේ කාර්‍යභාරය සුළු දෙයක් නොවේ. ඔබ වචන පමණක් පරිවර්‍තනය කරන්නේ නැහැ. ඔබ රාජ්‍යය ජනතාවට තේරුම් කර දෙනවා, ජනතාවගේ හඬ රාජ්‍යයට ගෙන යනවා, සංස්කෘතීන් අතර පාලම් ගොඩනගනවා. රාජ්‍ය භාෂා දෙපාර්‍තමේන්තුවට බඳවාගත් නවක භාෂා පරිවර්‍තකවරුන් 17 දෙනෙක් වෙනුවෙන් පත්වීම් ලබාදීම, රාජය භාෂා දෙපාර්‍තමේන්තුව විසින් පවරනු ලැබූ පරිවර්‍තන කාර්‍යයන් ඉටුකිරීම වෙනුවෙන් පරිවර්‍තකයින් තිදෙනෙකුට උපහාර දැක්වීම සහ භාෂා පරිවර්‍තන විශේෂ උපාදිය හදාරන විශ්ව විද්‍යාල විද්‍යාර්‍ථීන් අතර පවත්වන ලද තරඟයේ තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරීමද අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ජාත්‍යන්තර භාෂා පරිවර්‍තන දින ප්‍රධාන දේශනය ප්‍රවිණ භාෂා පරිවර්‍තක ගාමිණි වියන්ගොඩ මහතා විසින් සිදු කළ අතර, රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් තිලක් නන්දන හෙට්ටිආරච්චි, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, සමන්ත විජයසිංහ යන මහත්වරුන්ද මෙහිදී අදහස් පළ කළහ.
Google AdSense
In-Article Ad

