
මේ මොන උද්දච්ච කමක්ද.. සටන දිනන අරගලයක් අරඹනවා..- මහින්ද ජයසිංට බැණ වදිමින් ස්ටාලින්
FM Heart · 2 min read
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, අරගල කළ ද වැටුප් ඉල්ලීම් ලබාදිය නොහැකි බවට ප්‍රබල වෘත්තීය සමිති නායකයෙකු මෙන්ම වත්මන් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන මහින්ද ජයසිංහ මහතා උද්ධච්ච ප්‍රකාශ සිදුකරමින් සමස්ත ගුරු, විදුහල්පති සහ කම්කරු පන්තියම උපහාසයට ලක්කර ඇති බවයි. 2022 ජනවාරි 01 වනදා සිට ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවයෙන් තුනෙන් එකක (1/3) කොටසක් ලබාදුන් බවත්, ඉතිරි තුනෙන් දෙකක (2/3) කොටස දිනාගැනීම වෙනුවෙන් වත්මන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු සියලු පාර්ශ්වයන් එදා ඒකාබද්ධව සටන් වැදුණු බවත් ඔහු සිහිපත් කළේය. එසේ තිබියදී, පාලක බලයට පත්වූ පසු එම පොරොන්දු හා ඉල්ලීම් අමතක කරමින් මෙවැනි ප්‍රකාශ සිදුකිරීමෙන් පාලකයින්ගේ සැබෑ ස්වරූපය අනාවරණය වන බව ද ඔහු පෙන්වා දුන්නේය. මෙම අසාධාරණයට එරෙහිව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයට අයත් සියලු සංගම් ඒකාබද්ධව එළඹෙන 30 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක් ලෙස අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාවට නංවන බව ද ස්ටාලින් මහතා තහවුරු කළේය. ආණ්ඩුවට පක්ෂපාතී ලංකා ගුරු සේවා සංගමය හැර අධ්‍යාපන පද්ධතියේ අනෙකුත් සියලුම ගුරු සහ ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් මෙම ක්‍රියාමාර්ගයට පූර්ණ සහය පළකර ඇති බව ද ඔහු පැවසීය. වත්මන් රජය බලයට පත්වීමට පෙර පසුගිය ජූනි 26 වනදා කොළඹට 10,000කට අධික ගුරුවරුන් එක්ව දැවැන්ත උද්ඝෝෂණයක් කළ බවත්, කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ පවා ගුරුවරුන් අරගල කළේ මෙම හිඟ වැටුප් කොටස ලබාගැනීමට බවත් සිහිපත් කළ ඒ මහතා, ජනවරම ලබාදුන් ජනතාවගේ ඉල්ලීම් පැත්තකට දමා කටයුතු කිරීමට කිසිදු පාලකයෙකුට ඉඩ නොතබන බවත්, අරගලයෙන් හෝ එම හිමිකම් දිනාගන්නා බවත් අවධාරණය කළේය.

