FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඉතාලියේ පාසල් තුළ බුර්‍කාව, නිකාබය තහනම් කෙරේ..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

පාසල් ක්‍රියාකාරකම් අතරතුර සිසුන් නිවැරදිව හඳුනාගැනීමට බාධා වන අයුරින් මුහුණ ආවරණය කිරීම මෙම නව නියෝගය මඟින් තහනම් කර ඇත. ඒ අනුව පූර්‍ණ මුහුණු ආවරණයක් වන බුර්‍කාව සහ නිකාබය තහනමට ලක්වන නමුදු, මුහුණ නිරාවරණය වන ‘හිජාබය’ පැළඳීම සඳහා මෙමඟින් කිසිදු බාධාවක් එල්ල නොවන බව වාර්‍තාවේ දැක්වේ. මෙම නීතිය උල්ලංඝනය කරන පාර්‍ශ්වයන්ට එරෙහිව යුරෝ 1,000ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ තුනකට අධික) දක්වා වන දඩ මුදල් පැනවීමට ද ප්‍රතිපාදන සලසා තිබේ. මීට අමතරව පාසල්වල පළමු වසර පන්ති සඳහා ඉතාලි පුරවැසිභාවය නොමැති සිසුන් ඇතුළත් කරගැනීම 30%ක උපරිම සීමාවක පවත්වා ගැනීමට රජය පියවර ගෙන ඇත. ප්‍රාථමික පාසල්වලදී ඉතාලියේ උපත නොලැබූ හෝ අවම වශයෙන් පෙරපාසල් වසර දෙකක්වත් සම්පූර්‍ණ නොකළ දරුවන්ට සහ ද්විතීයික පාසල්වලදී අවම වශයෙන් වසර තුනක්වත් ඉතාලි අධ්‍යාපන පද්ධතියේ නොසිටි සිසුන්ට මෙම සීමාව බලපැවැත්වේ. මෙමඟින් සංක්‍රමණික සිසුන් සමාජගත කිරීම පහසු වන බවත්, පාසල් තුළ ‘හුදෙකලා පන්ති’ නිර්‍මාණය වීම වැළැක්වීමෙන් සියලු සිසුන්ට සමාන අවස්ථා හිමිවන බවත් අග්‍රමාත්‍ය මෙලෝනි පෙන්වා දී තිබේ. රූපවාහිනී ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ, මෙම මුහුණු ආවරණ තහනම රටේ ආරක්ෂාව පිළිබඳ සෘජු කාරණයක් වන බවයි. කාන්තාවකට හෝ විශේෂයෙන්ම කුඩා දැරියකට බලහත්කාරයෙන් මුහුණ ආවරණය කිරීමට සිදුවන විට ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් අහිමි වන බවද ඇය අවධාරණය කළාය. පසුගිය බ්‍රහස්පතින්දා රජය විසින් සම්මත කරගත් මෙම විශේෂ නියෝගය ඉදිරි දින 60 ඇතුළත ඉතාලි පාර්‍ලිමේන්තුව විසින් අනුමත කළ යුතුව ඇත. පූර්‍ණ මුහුණු ආවරණයට එරෙහිව යුරෝපය පුරා ක්‍රියාත්මක වන නීතිමය මර්‍දනයේ දිගුවක් ලෙස ඉතාලිය ද මෙම තීරණයට එළඹ තිබේ. ප්‍රංශය විසින් 2011 වසරේදී ද, ඩෙන්මාර්‍කය 2018 දී ද පොදු ස්ථානවල පූර්‍ණ මුහුණු ආවරණය තහනම් කළ අතර ස්විට්සර්‍ලන්තය තුළ එම තහනම 2025 දී බලාත්මක විය. එසේම, පරිපාලනමය මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රජයේ සේවකයන්ට ආගමික ඇඳුම් පැළඳීම තහනම් කිරීමට ආයතන ප්‍රධානීන්ට බලය පවතින බවට යුරෝපා අධිකරණය ද 2023 වසරේදී තීන්දු කර තිබූ බව විදෙස් වාර්‍තාවල වැඩිදුරටත් සඳහන් වේ.

Google AdSense

In-Article Ad